රුපියල් කෝටි 3 ක හෙරොයින් ගෙන ආ විදේශිකයාට වැඩවරදී

රුපියල් කෝටි 3 ක හෙරොයින් රැගෙනා ආ විදේශිකයා කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 13-10-2018 | 9:30 AM

COLOMBO (News 1st) - රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත්කළ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ පරීක්ෂාවකදීයි. ඔහු සතුව තිබි සොයා ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 426 ක් ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දෝහා කටාර් සිට මෙරටට පැමිණ 38 හැවිරිදි පාකිස්ථාන ජාතිකයෙකි. ඔහු සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් සකසා එම තොගය රැගෙන ඒමට තැත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. මේ අතර වීරගුල පොලිසියේ නිලධාරීන් උදුගොඩ රුක්ගහවිල ප්‍රදේශයේ නිවසක කළ පරීක්ෂාවකදී හෙරොයින් ග්‍රැම් 23 යි මිලිග්‍රැම් 500 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. 29 හැවිරිදි සැකකරු ළඟ තිබි රුපියල් ලක්ෂ දෙකක මුදලක් ද සොයා ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. මේ අතර කෙසෙල්වත්ත කැඩිච්චවත්ත ප්‍රදේශයේ හෙරොයින් ග්‍රැම් 19 යි මිලිග්‍රැම් 960 ක් සමග 33 හැවිරිදි සැකකරුයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.