උදා ගම්මාන ව්‍යාපෘතියට ඉන්දීය රජයෙන් රුපියල් ලක්ෂ 6000ක්

by Staff writer 13-10-2018 | 9:05 PM
COLOMBO (News 1st) - සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවූ දිවයිනේ 138 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරිණි. ඒ, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. හම්බන්තොට ගොන්නෝරුව ප්‍රදේශයේ ඉදිකළ මෙම උදා ගම්මානය සත්සුරුගම ලෙසින් නම් කෙරිණි. නිවාස ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 204කි. මෙහිදී ඉන්දීය රජය විසින් උදා ගම්මාන ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 6000ක මුදල් ආධාරයක් ලබා දීමේ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම් බර්නාඩ් වසන්ත යන මහත්වරු එක්ව සිටියහ. සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජය විසින් මෙම මුදල් ආධාරය ලබා දී තිබේ. එම ආධාරවලින් උතුරු සහ දකුණු පළාත්වල ගම්මාන 50ක් ඉදිකිරීමට නියමිත ය.