හම්බන්තොට, ලුණුගම්වෙහෙර බස් රථ අනතුරින් 80 දෙනෙකුට තුවාල

by Staff writer 12-10-2018 | 1:30 PM

COLOMBO (News 1st) - හම්බන්තොට, ලුණුගම්වෙහෙර නව බස්නැවතුම්පොළ අසළ බස් රථ දෙකක් එකිනෙක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව පුද්ගලයින් 80 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණුට මුහුණ ගැටී මෙම අනතුර සිදු ව තිබේ. අනතුර සිදුවන විට ඒ ආශ්‍රිතව මද වැසි තත්ත්වයක් ද පැවති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. අනතුරින් තුවාල ලැබූවන් හම්බන්තොට, ලුණුගම්වෙහෙර හා දෙබරවැව යන රෝහල්වලට ඇතුළත් කෙරිණි. අනතුරින් බස් රථ දෙකෙහිම, රියැදුරන් අතුළු පුද්ගලයින් 80 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර ඉන් පුද්ගලයින් 5 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ ය. මේ අතර හම්බන්තොට මූලික රෝහලේ 24 දෙනෙකුත්, දෙබරවැව ප්‍රදේශීය රෝහලේ 13 දෙනෙකුත් සහ ලුණුගම්වෙහෙර රජයේ රෝහලේ තිදෙනෙකුගෙත් නේවාසික ප්‍රතිකාර ලබනු ඇති.