නලින් පෙරේරා අගවිනිසුරු ධූරයේ දිවුරුම් දෙයි

by Staff writer 12-10-2018 | 6:53 PM

COLOMBO (News 1st) - නව අගවිනිසුරු ලෙස නලින් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ, අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදීයි. ප්‍රියදාස් ඩෙප් මහතා අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාමයාම හේතුවෙන් පුරප්පාඩු වූ එම ධූරයට නලීන් පෙරේරා මහතාගේ නම ජනාධිපතිතුමා විසින් නාම යෝජනා කිරීමෙන් අනතුරුව අද දහවල් රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එය අනුමත කළේ ය. මේ අනූව නලින් පෙරේරා මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ 46 වැනි අගවිනිසුරුවරයා ලෙස දිවුරුම්දී ඇත. 2016 මාර්තු 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වන ඔහු නීතිඥවරයකු ලෙස පත්වන්නේ 1977 අගෝස්තු 25 වැනි දායි. නලින් පෙරේරා මහතා මූලික හා ද්විතික අධ්‍යාපනය හදාරනු ලැබුවේ කෝට්ටේ සහ ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලවලිනි. 1980 වර්ෂයේදී අධිකරණ ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු 1984 වර්ෂයේදී මහේස්ත්‍රාත්වරයකු ලෙස පත්වූවේ ය. ගල්කිස්ස, වලස්මුල්ල, කළුතර සහ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ නලින් පෙරේරා මහතා 1990 වර්ෂයේදී දිසා විනිසුරුවරයකු සහ අතිරේක දිසා විනිසුරුවරයකු ලෙස පත්වීම් ලබා තිබේ. ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ සංගමයේ කථිකාචාර්යවරුන්ගේ කමිටුවේ සාමාජිකයෙකු වන නලින් පෙරේරා මහතා කැනඩාවේ පොදු රාජ්‍ය මණ්ඩලීයය අධිකරණ අධ්‍යාපන ආයතනයේ උසස් අධ්‍යාපනය හැදැරූ අයෙකි. 2001 වසරේදී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වන ඔහු රත්නපුර, මහනුවර සහ නුවරඑළිය මහාධිකරණවල විනිසුරුවරයකු ලෙස කටයුතු කර තිබේ. මහනුවර සිවිල් අභියාචනාධිකරණ මහාධිකරණයේ පළමු විනිසුරුවරයකු ලෙස ද නලින් පෙරේරා මහතා තෝරාපත්කර ගැණිනි.