හිරුණිකාට නගන චෝදනාවේ ඇත්ත නැත්ත

හිරුණිකාට එරෙහිව සිදු කරන විමර්ශනය කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් ද?

by Staff writer 11-10-2018 | 7:57 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මග නැගුමින් රුපියල් කෝටි 2ක මුදලක් අයථා ලෙස ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් කරන බවට මේ දිනවල වාර්තා පළ වේ. සැබැවින්ම සිදුව ඇත්තේ කුමක් ද? මෙම සිදුවීමට අදාළව තොරතුරු රැසක් නිව්ස්ෆස්ට් වෙත ලැබී තිබේ. මග නැගුම මාර්ග කොන්ත්‍රාත් සමාගමේ සේවක සුබ සාධක සංගයේ ගිණුමකින් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලන හා වෙනත් කටයුතුවලට යොදා ගෙන ඇතැයි පවසමින් ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පුවත්පත් කිහිපයක් ඊයේ සහ අද වාර්තා කළේ ය. මග නැගුම සුබ සාධක සංගමයේ සභාපති යැයි කියන ජේ.ජේ. වික්‍රමරත්න නමැත්තා 2016 වසරේ මාර්තු 17 වන දා සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට යවා තිබූ ලිපියක සඳහන් වන්නේ 2014- 2015 කාල සීමාවේ තම සුබ සාධක අරමුදලේ ආදායම් වියදම් පිළිබඳව සිදු කළ විගණනයේදී ගැටලු මතුව ඇති නිසා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙස ය. නමුත් එහි කිසිදු ස්ථානයක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ නමක් සඳහන් නොවේ. ඇගේ නම සඳහන්ව ඇත්තේ රාජගිරිය නාවල පාරේ උත්සව භාණ්ඩ සපයන ආයතනයකට මෙම කාල සීමාවේ වරින් වර රුපියල් 243,000ක මුදලක් ගෙවීමට අදාළව නිකුත් කර ඇති බිල්පත්වල ය. මේ අනුව රුපියල් කෝටි දෙකකට ආසන්න ගනුදෙනුවක් ගැන විමර්ශනය කරන බවට පළ වන වාර්තා ගැටලු සහගත ය. උත්සව භාණ්ඩ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නමින් ඇනවුම් කළ බව බිල්පත්වල සඳහන් වුවත් ඇගේ අත්සනක් හෝ ඇය මෙම ගනුදෙනු අනුමත කළ බවක් බිල්පත්වල කිසිදු ස්ථානයක සඳහන්ව නොමැත. නමුත් වරින් වර රුපියල් 243,000ක මුදලක් මග නැගුම සේවක සුබ සාධක අරමුදලින් ප්‍රසන්න කුමාර නිස්සංක නමැති අයෙක් අත්සන් කර ලබා ගෙන තිබේ. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය ද මෙම ගනුදෙනුවට අදාළ ලිපි ලේඛනවල සඳහන් ය. වාර්තාවල පළ වන ආකාරයට රුපියල් කෝටි දෙකක මුදලක් මෙහිදී අරමුදලින් නිකුත් කර නොමැති අතර බිල්පත් 7ක් සඳහා නිකුත් කර තිබූ මුදල රුපියල් 243,000ක් පමණි. රුපියල් 243,000ක මුදලක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනය කුමක් ද? රටේ ජනතාව දන්නා නීතිය අනුව නම් මෙවැනි ගනුදෙනු බොහෝ විට විමසා බලන්නේ සමථ මණ්ඩලයෙනි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙම මුදල් ගත් බවට ඇති සාක්ෂි, සාධක මොනවා ද? මේ උත්සහ දරන්නේ කාගේ හෝ වුවමනාවක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන අනාගතය විනාශ කිරීමට ද?