රොනී ලීච් දැයෙන් සමුගනියි

සහෘද රසික රසිකාවන්ගේ කඳුළු මධ්‍යයේ රොනී ලීච් දැයෙන් සමුගනියි

by Staff writer 11-10-2018 | 8:36 PM
COLOMBO (News 1st) - ජනප‍්‍රිය ගායන හා රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත රොනී ලීච් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. දේහය ගල්කිස්ස ක‍්‍රිස්තුදේව දෙව් මැදුරට අද පස්වරුවේ රැගෙන ආ අතර ආගමික වතාවත් එහිදී සිදු කිරීමෙන් පසු අවසන් කටයුතු සිදු විය. ප්‍රසංගයක් සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට ගොස් සිටියදී රොනී ලීච් මහතා අභාවප්‍රාප්ත වූයේ පසුගිය පළවෙනි දා ය. දේහය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ඊයේ මෙරටට රැගෙන ආවේ ය. මිය යන විට ඒ මහතා 65 වන වියේ පසු වූ අතර ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. අද පස්වරු 2.00 තෙක් මහජන ගෞරවය සඳහා දේහය බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබිණි. දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් අද පැමිණියහ.