ශ්‍රීලංකන් කඩා වැටීමට වගකිව යුත්තේ කවුරුන් ද?

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කඩා වැටීමට වගකිව යුත්තේ කවුරුන් ද?

by Staff writer 11-10-2018 | 10:33 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රීලංකන් කේටරින් සහ මිහින් ලංකා ආයතන තුළ සිදු වූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම අදත් රැස් විය. අද දින සාක්ෂි සටහන් වූයේ ජනාධිපති නීතිඥ සජිත් බණ්ඩාර සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීල් උනම්බුව යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ආයතනය ලියාපදිංචි කළා යැයි කිසිදු සාක්ෂියක් නොමැතිව මහා භාණ්ඩාගාරයේ රුපියල් බිලියන 14.5ක මුදලක් 2006 සිට 2015 දක්වා යන කාල සීමාව තුළ මිහින් ලංකා ආයතනයට ලබා දී ඇති බව පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් අද කොමිසම හමුවේ පැවසුවා ය. මෙහිදී වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් නාවික සංවර්ධන අරමුදලින් මිලියන 300ක ණයක් මිහින් ලංකා ආයතනයට ලබා දී ඇති බව ද අනාවරණය විය. හිටපු ජනාධිපති, හිටපු භාණ්ඩාගාර ලේකම් සුමිත් අබේසිංහ සහ මිහින් ලංකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අනුමැතිය ඇතුව මෙය ලබා ගෙන ඇති අතර මේ අයුරින් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය ණය මුදලක් ලබා දී ඇති ප්‍රථම අවස්ථාව ද මෙයයි. මේ ණය මුදලට අදාළ මිලියන 37ක පොළිය ද එවකට පොදු ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුරේන් බටගොඩ මහතාගේ නියෝග පරිදි කපා හැර තිබේ. 2006 සිට 2018 දක්වා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සම්පූර්ණ අලාභය රුපියල් බිලියන 143කි. මෙයට අමතරව දැනට ගෙවිය යුතු මුළු මුදල රුපියල් බිලියන 167කි. එවිට මේවායේ සම්පූර්ණ එකතුව රුපියල් බිලියන 280කි. මෙම මුදල 1% පොළී අනුපාතයක් යටතේ ආයෝජනය කළ හැකි වූවා නම් ප්‍රතිලාභය රුපියල් බිලියන 2.8ක් විය හැකි ය. 2% පොළී අනුපාතයක් යටතේ ප්‍රතිලාභය රුපියල් බිලියන 5.6ක් විය හැකි ය. 5% පොළී අනුපාතයක් යටතේ ප්‍රතිලාභය රුපියල් බිලියන 14ක් විය හැකි ය. 22% වෙළඳපොළ පොළී අනුපාතය යටතේ ප්‍රතිලාභය රුපියල් බිලියන 61.6ක් විය හැකි ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කඩා වැටීමට වගකිව යුත්තේ කවුරුන් ද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරා, නිශාන්ත වික්‍රමසිංහද ? නොඑසේ නම් අග්‍රාමාත්‍යවරයාගේ උපදේශක, සුරේන් රත්වත්තේගේ සහෝදරයා ද?