දුමින්ද සිල්වාට මහාධිකරණය දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

by Staff writer 11-10-2018 | 3:17 PM
  COLOMBO (News 1st) - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද පස්වරුවේ ඒකමතිකව නිෂ්ප්‍රභ කළේ ය. ඒ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ අධි චෝදනාවලට වරදකරුවන් කරමින් මහාධිකරණය නියම කළ මරණ දඬුවම් නියෝගය අවලංගු කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ඔවුන් ගොනු කර තිබූ අභියාචනා පෙත්සම සලකා බලමිනි. එම නඩුවේ පළමු විත්තිකරු වන පොලිස් කොස්තාපල් අනුර තුෂාර ද මෙල් මහතා සියලු අධි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අගවිනිසුරු ප්‍රියදාස් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා, ශ්‍රී නායක පතිරණගේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද හා දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර යන විත්තිකරුවන් තිදෙනාට කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ පද්මිණි එම්. රණවක, එම්.ටී.බී.එස්. මොරායස් යන විනිසුරුවරුන් නියම කළ මරණ දඬුවම් නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම තීන්දුවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර හිමි විය. 2011 වසරේ ඔක්තෝබර් මස 08 වන දා පළාත් පාලන මැතිවරණ දිනයේදී අංගොඩ, මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, දමිත දර්ශන ජයතිලක, ජලාඩ්ඩින් මොහොමඩ් අසීම් හා මනුවෙල් කුමාරස්වාමි යන සිව් දෙනා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම විත්තිකරුවන් සියලු දෙනාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවට විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ ශිරාන් ගුණරත්න මහතා තීන්දු ප්‍රකාශයක් වෙන්ව නිකුත් කළේ ය. මහාධිකරණ විනිසුරු එම්.ටී.බී.එස්. මොරායස් මහතාගේ එකඟතාව ඇතිව මහාධිකරණ විනිසුරු එම්. පද්මිණි රණවක මහත්මිය විසින් 2016 වසරේ සැප්තැම්බර් මස 08 වන දා නිකුත් කළ තීන්දුව මගින් එම විත්තිකරුවන් 13 දෙනා අතරින් 8 දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි. ආර්. දුමින්ද සිල්වා ඇතුළු සෙසු විත්තිකරුවන් 5 දෙනාට මරණීය දණ්ඩනය නියම කළේ ය.