ඇලෝසියස් හා කසුන්ගේ ඇප අයැදුම්පත් ප්‍රතික්ෂේප වෙයි

අර්ජුන් ඇලෝසියස්ගේ හා කසුන් පලිසේනගේ ඇප අයැදුම්පත් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

by Staff writer 11-10-2018 | 11:59 AM

COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මණ්ඩලය හමුවේ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හා මහාධිකරණය විසින් පෙත්සම්කරුවන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයන්ට එරෙහිව තමා අධිකරණය හමුවේ ගොනුකර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත් විභාගයට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්වී නොමැති බවට එකී තීන්දුව නිකුත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය. මේ අතර අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 25 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.