අද සිට වැසි අඩුවන බවට අනාවැකි..

අද සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ අඩුවීමක්

by Staff writer 11-10-2018 | 7:43 AM

COLOMBO (News 1st) - දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් අද සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දකුණ, ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ වර්ෂාධික අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 60,000 කට ආසන්න බවයි. 'ටිට්ලි' සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ තවදුරටත් ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින්න ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා විශේෂ කාලගුණ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර ඉතා තද සුළං පැවතිය හැකි බවයි. 'ටිට්ලි' සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 1100 ක් පමණ දුරින් ස්ථානගත වනු ඇති. ඉදිරි පැය 24 තුළ එය තවදුරටත් වර්ධනය වෙමින් චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන අතර එය දිවයිනෙන් ඉවතට වයඹ දෙසට ගමන් කරනු ඇති.