‘ටිට්ලි’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

‘ටිට්ලි’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

‘ටිට්ලි’ සුළි කුණාටුව ඉන්දියාවට කඩාවදී

කර්තෘ Staff writer

11 Oct, 2018 | 8:37 am

ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් බවට පරිවර්තනයවී ඇති ටිට්ලි සුළි කුණාටුව ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ ගෝපාල්පූර් නගරයට කඩා වැදුණු බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හින්දි භාෂාවට අනුව ටිට්ලි යන්නෙහි අරුත සමනලයා යන්නයි.

කුණාටුව මේ වනවිට ප්‍රාන්තය හරහා හමා යන්නේ පැයට කිලෝමීටර 150 ක වේගයෙනි.

මේ හමුවේ ඔරිස්සා ප්‍රාන්තයේ වෙරළාශ්‍රිතව පිහිටි දිස්ත්‍රික්ක 5 ක ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත.

සුළි කුණාටුව හේතුවෙන් ඔරිස්සා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 4 ක සියලු පාසල් සහ විශ්වවිද්‍යාල ද වසා ඇත.

ඔරිස්සා ප්‍රාන්ත රජය සඳහන් කළේ, අධික වර්ෂාව හමුවේ ගංවතුර තත්ත්වයක් හටගත හැකි බැවින් ඊට සූදානම්ව සිටින ලෙසයි.

ඉන්දීය බලධාරීන් සඳහන් කළේ, ටිට්ලි සුළි කුණාටුව හේතුවෙන් එරට දුම්රිය ගමන් රැසක් අවලංගු කර ඇති බවයි.

සුළි කුණාටුව ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවල වෙරළබඩ දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් සිදු කරනු ඇතැයි ඉන්දීය බලධාරීන් සඳහන් කළේ ය.

ඔරිස්සා ප්‍රාන්තයට ඇතුලුවීමෙන් පසු ටිට්ලි, ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්ත හරහා බටහිර බෙංගාලයට හමා ගොස් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි ඉන්දීය කාලගුණ බලධාරීන් සඳහන් කළේ ය.

හෙට දින තෙක් මුහුදු යාමෙන් වළකින ලෙස ඔරිස්සා ප්‍රාන්ත ධීවර ප්‍රජාවට දැනුම් දුන් බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මේ අතර 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන මයිකල් අමෙරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයට කඩා වැද ඇත.

ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ පෑන්හැන්ඩ්ල් පළාතට කඩාවැදුණු එය මේ වනවිට හමායන්නේ පැයට කිලෝමීටර 250 ක වේගයෙනි.

අමෙරිකානු ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පැවසූවේ, සුළි කුණාටු අවදානම හමුවේ පුද්ගලයන් 370,000 කට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම්දුන් නමුත් බහුතරයක් තවමත් සිය නිවෙස්වල සිටින බව ය.

මෙය ශතවර්ෂයකින් එම ප්‍රාන්තය අත්දුටු දරුණුතම කුණාටුව වනු ඇතැයි ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණුඩුකාර රික් ස්කොට් අනතුරු ඇඟව තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරීඩා, ඇලබාමා යන ප්‍රාන්තවල හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇත.

මේ අතර පැපුවානිව්ගිනි රාජ්‍යයේ මැග්නිටියුඩ් ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ, ඉන් සිදු වූ ජීවිත හෝ දේපොළ හානි මෙතෙක් වාර්තා වී නැති බවයි.

භූ චලනයෙන් මීටර 0.3 ක උසට වඩා අඩු සුනාමි රළ හටගත හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.