වැසි බර කාලගුණය තවදුරටත්

වැසි බර කාලගුණය තවදුරටත්: අයහපත් කාලගුණයෙන් 57,015කට පීඩා

by Staff writer 10-10-2018 | 8:20 AM
COLOMBO (News 1st) - දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩු වීමක් හෙට දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මෙනවිය පැවසුවේ, අදත් බස්නාහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය. දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ඇය සඳහන් කළා ය. මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් පවුල් 14,175ක පුද්ගලයින් 57,015ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය. එම මධ්‍යස්ථානය සඳහන් කළේ කළුතර, ගාල්ල, කොළඹ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ 09ක් වාර්තා වන බව ය. පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය. අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත ස්ථාන 28ක පුද්ගලයින් 12,000ක් රඳවා තිබේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නාය යාමේ රතු අවදානම් නිවේදනය තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නාය යාම් අධ්‍යයන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා පූර්ව නාය යාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බව ය.