ටිට්ලි සුළි කුණාටුවට මුහුණ දීමට ඉන්දියාව සීරුවෙන්

ටිට්ලි සුළි කුණාටුවට මුහුණ දීමට ඉන්දියාව සීරුවෙන්

by Staff writer 10-10-2018 | 9:48 AM
COLOMBO (News 1st) - බෙංගාල බොක්කේ ගැඹුරු අවපීඩන තත්ත්වයක් හමුවේ වර්ධනය වූ ටිට්ලි සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ඔරිස්සා සහ ආන්ද්‍ර ප්‍රාන්ත වෙරළ තීරය වෙත හමා යමින් පවතින බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඔවුන් පවසන්නේ හෙට පෙරවරුවේ සුළි කුණාටුව ඔරිස්සා සහ ආන්ද්‍රා වෙරළ හරහා හමා යනු ඇති බව ය. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් මේ හමුවේ ඔරිස්සා ප්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර අවසන් ය. ඉදිරි පැය 24 තුළ ටිට්ලි දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. මේ වන විට ටිට්ලි සුළිකුණාටුව කේන්ද්‍රගතව ඇත්තේ ඔරිස්සාහි ගෝපාල්පූර් නගරයෙන් කිලෝමීටර් 530ක් ගිනිකොණ දෙසට වන්නට ය. මේ හේතුවෙන් අද සහ හෙට දින දෙකේදීම ඔරිස්සා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක හතරක පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. මේ අතර අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදීමට නියමිත මයිකල් සුළි කුණාටුවේ ප්‍රබලත්වය තුන්වන කාණ්ඩය දක්වා ඉහළ ගොස් ඇතැයි අමෙරිකාවේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය අනතුරු අඟවයි. ඒ, පැයට කිලෝමීටර 195ක වේගයෙන් හමා යමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද පස්වරුවේ එම සුළි කුණාටුව ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදීමට නියමිත බව ය. සුළි කුණාටු අවදානම හමුවේ ෆ්ලෝරීඩා ප්‍රාන්ත වෙරළාශ්‍රිතව දිවි ගෙවන දහස් ගණනක් ජනතාව ආරක්ෂාව පතා උස් බිම් වෙත ගොස් තිබේ. සුළි කුණාටුව අමෙරිකාවේ බොරතෙල් සහ ගෑස් නිෂ්පාදනයේ බිඳ වැටීමට ද හේතු වී ඇති බව සඳහන් ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය. ඉකුත් මාසයේ හටගත් ගංවතුර තත්ත්වයේ බලපෑම තවමත් පහව ගොස් නැති ෆ්ලෝරීඩා , ඇලබාමා, ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ දකුණු කැරොලිනා ප්‍රදේශ වෙත මයිකල් සුළි කුණාටුවේ බලපෑමෙන් අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීහු අනතුරු ඇඟවූහ. ෆ්ලොරීඩා ප්‍රාන්ත ආණ්ඩුකාර රික් ස්කොට් සඳහන් කළේ, දශක ගණනාවකින් ප්‍රාන්තය මුහුණ පාන මාරාන්තිකම විනාශකාරීම සුළි කුණාටුව මෙය වනු ඇති බව ය.