රතුපස්වල නඩුව කල්යයි

රතුපස්වල නඩුව කල්යයි

by Staff writer 10-10-2018 | 3:10 PM
COLOMBO (News 1st) : ගම්පහ , රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයේදී වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 04 වන දා දක්වා කල් තැබිණ. ඒ අදාළ නඩුව ගම්පහ මහේස්ත්‍රාත් ඩි.ඒ. රුවන් පතිරණ මහතා හමුවේ අද කැඳවීමෙන් අනතුරුවයි. අදාළ ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් සිව්දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව පවරා තිබේ. අද නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ නඩු ගොනුවේ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතත්, එම උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි. 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේදී එම වෙඩි තැබීම සිදුවූ අතර අධිකරණය හමුවේ පෙනී සිටි සැකකරුවන්ට ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.