රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ඉල්ලා අස්වෙයි

රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ඇතුළු තනතුරු 15කින් කථිකාචාර්යවරු ඉල්ලා අස්වෙති

by Staff writer 10-10-2018 | 11:17 AM
COLOMBO (News 1st) - රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ අධ්‍යයන අංශ 14ක ප්‍රධානීන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේ, ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ පස්වරුවේ තමන්ට ලැබුණු බව ය. ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ, වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට ලබා දුන් රඳවා ගැනීමේ දීමනාව කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව පසුගිය මාසයේ නවතා දැමීම හේතුවෙනි අනුරාධපුරය වැනි දුෂ්කර පළාතකට වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ආචාර්යවරුන් නොපැමිණීම හේතුවෙන් ඔවුන් දිරි ගැන්වීම සඳහා හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් මහාචාර්යවරයෙකුට මාසිකව රුපියල් ලක්ෂයක් ද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු සඳහා රුපියල් 80,000ක් ද කථිකාචාර්යවරයෙකු සඳහා රුපියල් 60,000ක් ද ගෙවන ලෙස විශ්වවිද්‍යාල පරිපාලනයට උපදෙස් දී තිබිණි. එහෙත් එම දීමනාව මෙතෙක් කලක් ගෙවා ඇත්තේ විශ්වවිද්‍යාල පාලක සභා අනුමැතියකින් පමණි. මේ පිළිබඳව කළ විමසීමකදී රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය රංජිත් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ, අදාළ දීමනාව ලබා දුන්නේ පාලක සභාවේ අනුමැතියකින් වුවත් විෂය භාර අමාත්‍යංශයේ අනුමැතියකින් නොවන බව ය. එහෙත් අමාත්‍යංශ අනුමැතියකින් තොරව එලෙස දීමනා ගෙවීම තහනම් කරමින් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය අනුව කථිකාචාර්යවරුන්ගේ රඳවා ගැනීමේ දීමනාව ගෙවීම අත්හිටවූ බව උපකුලපතිවරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, අදාළ දීමනා සඳහා අවසර දෙන ලෙස ඉල්ලා විෂය භාර අමාත්‍යංශයට ඉල්ලීමක් කර ඇති බව ය.