20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය

20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය පාර්ලිමේන්තුවට

by Staff writer 09-10-2018 | 1:25 PM
COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර තිබේ. කෙටුම්පතේ වගන්ති 6ක් තුනෙන් දෙකක අනුමැතියෙන් සම්මත කළ හැකි ය. අද පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයා පැවසූ ආකාරයට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 6 ක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් ය. සරලව පැහැදිලි කළහොත් එම වගන්තිවල සඳහන් කරුණු මේ... 1. අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වූ විට ඔහු හෝ ඇය ඉල්ලා අස්වූ බවට සැලකිය යුතු ය. 2. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ විට අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වූ ලෙස සැලකිය යුතු ය. 3. අමාත්‍ය මණ්ඩලය විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමි වන අග්‍රාමාත්‍යරයා ධූරයෙන් ඉවත් කිරීම යන වගන්තිය ඉවත් කිරීම. 4. පාර්ලිමේන්තුව පළමුව රැස්වූ අවස්ථාවේ සිට පළමු වසර දෙකක කාලය තුළ විසර්ජන පනත් කෙටුම්පත තුන් වරක් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වුවහොත් පමණක් විසර්ජන පනත් කෙටුම්පත පරාජය වූවා සේ සැලකීම. 5. ජනමත විචාරණයකින් සම්මත වන කෙටුම්පතක් ජනාධිපතිවරයා අත්සන් කර බලාත්මක නොකළහොත් දින 14 කට පසුව එය ජනාධිපතිවරයා සහතික කලා සේ සැලකීම. 6. ජනමත විචාරණයකට යොමු කළ යුතු පනත් කෙටුම්තක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අනුමත කර ඇති විට දින 28 ක් තුළ ජනමත විචාරණයකට යොමු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වුවහොත් එය ජනමත විචාරණයකට යොමු කළ කෙටුම්පතක් ලෙස සලකා මැතිවරණ කොමිසම ක්‍රියාකළ යුතු ය. 7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සාමාජිකයෙකුට එරෙහිව දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ගනු ලබන හෝ ගැනීමට යන විනය ක්‍රියාමාර්ගයකට අදාළ කරුණක් විභාග කර නිශ්චය කිරීමට කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නොතිබිය යුතු ය. 8. ඊට අමතරව අතුරු නියෝග නිකුත් කරමින් කිසිදු සහනයක් ලබා දීමට ද අධිකරණ බලයක් නොතිබිය යුතු ය. 9. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ හා පොදු වැදගත්කමකින් යුතු කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර අප්‍රසිද්ධියේ විභාග කර ජනාධිපතිවරයාට වාර්තා කල යුතු බවට වන ව්‍යවස්ථා ප්‍රතිපාදනය සම්පූර්ණයෙන් ඉවත් කිරීම. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී විජිත හේරත් මහතාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස ය.