සීනි සඳහා පාලන මිලක්.. ?

සීනි සඳහා පාලන මිලක්.. ?

by Staff writer 09-10-2018 | 7:42 AM
COLOMBO (News 1st) : සීනි සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ, රුපියල් 100ක පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටු අනුමැතිය ලැබී ඇති බවයි. පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් එම පියවර ගැනීමට නියමිතව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ලේකම්වරයා පැවසුවේ, පාලන මිල පැනවීමට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා යෝජනාව ඉදිරිපත් කරන බවයි. මේ අතර, සීනි සඳහා පනවා තිබූ රුපියල් 31 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව බදු ව්‍යුහයක් හදුන්වා දීමට පසුගිය සැප්තැම්බර් මස 17 වන දා මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේ ය. ඒ අනුව නව බදු ක්‍රමයට අනුව සීනි කිලෝග්‍රෑම් 1ක් සඳහා අද වනවිට දැරිය යුතුව ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් 43 ක් පමණ වේ. ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා ගෙවිය යුතු මිල පසුගිය කාලයට සාපේක්ෂව අඩුවී ඇති බැවින් මෙම පියවර ගත් බවත් සිල්ලර වෙළෙඳපොළට එමගින් බලපෑමක් නොවන බවත් මුදල් අමාත්‍යාංශය එහිදී සඳහන් කළේ ය. නමුත් බදු පැනවීමට පෙර තොග වෙළඳපොළේ රුපියල් 91 ක් වූ සීනි කිලෝග්‍රෑම් 1ක මිල මේ වනවිට රුපියල් 100 ඉක්මවා තිබේ. දළ වශයෙන් රුපියල් 15 කට වැඩි ප්‍රමාණයකින් තොග වෙළෙඳපොළේ, පමණක් සීනි කිලෝග්‍රෑම් 1ක මිල වැඩිවී තිබේ.