ශ්‍රීලංකන් වංචාව පිළිබඳව තවත් අනාවරණයක්

ශ්‍රීලංකන් වංචාව පිළිබඳව තවත් අනාවරණයක්

by Staff writer 09-10-2018 | 8:09 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදු වූ වංචා පිළිබඳව විමර්ශනය කිරීමට පත් කළ කොමිෂන් සභාව හමුවේ 2017 වසරේ එම සමාගම ලබා ගත් ණය මුදල් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. 2017 පෙබරවාරි මස අමෙරිකානු ඩොලර් මිලියන 34.5ක ණය මුදලක් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගමට ලබා දී තිබේ. මෙම ණය මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 27ක් භාවිත කර තිබුණේ, ගුවන් යානා මිලදී ගැනීම සඳහා එළැඹ තිබූ කල්බදු ගිවිසුමක් අහෝසි කිරීමේ දඩ මුදල් ගෙවීම සඳහා ය. ගුවන් සමාගම, මෂ්රික් බැංකුවෙන් ලබා ගත් ණය මුදලේ එකඟ වූ කොන්දේසි සපුරාලීමට අපොහොසත්වීම හේතුවෙන් එම සමාගමට අලාභයක් දැරීමට සිදු වූ බව අද ජනාධිපති කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය විය. ඩොලර් මිලියන 150ක මෙම ණය මුදල ඉස්ලාමීය බැංකු පහසුකම් යටතේ ලබා ගෙන තිබුණේ මෙම අලාභ පියවීම සඳහා ය. මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා අල් හිල්අල් බැංකුව, අබුඩාබි ඉස්ලාමික් බැංකුව, නූර් ඉස්ලාමික් බැංකුව, යුනයිටඩ් බැංකුව සහ ශ්‍රී ලංකාවේ කොමර්ෂල් බැංකුව අතර ණය සපයන්නෙකු ලෙස ක්‍රියා කිරීමට ශ්‍රීලංකන් සමාගම ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ලන්ඩන් කාර්යාලයට ඉල්ලීමක් කර තිබිණි. කොමිෂන් සභාවෙදී තවදුරටත් අනාවරණය වූයේ, ශ්‍රීලංකන් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 175ක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් සඳහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ප්‍රධාන කළමනාකරු ලෙස පත් කර තිබූ බව ය. මෙම බැඳුම්කර 2019 දෙසැම්බර් මාසයේදී කල් පිරීමට නියමිතව තිබේ. මෙම ආයතනයට මෙලෙස අලාභ සිදු කර ඇත්තේ මෙම ආයතනයේම වගකිවයුතු නිලධාරීන්ගේ ක්‍රියාවන් නිසා. මොවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නොගෙන ඇත්තේ ඇයි?