වැස්සකටවත් සූදානම් නැති කොළඹ නගරය...

වැස්සකටවත් සූදානම් නැති කොළඹ නගරය...

by Staff writer 09-10-2018 | 7:28 PM
COLOMBO (News 1st) - අතිවිශාල ගොඩනැගිලි ඇතුළු දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් රටේ වාණිජ අගනගරය, කොළඹ නගරයේ මේ දිනවල ඉදිවෙමින් තිබේ. එහෙත් නගරයේ ඇතුළත මාර්ග ඔස්සේ ඇවිද ගියහොත් ඇතැම් ස්ථානවල දක්නට ඇත්තේ ඛේදනීය තත්ත්වයකි. පීඩාවට පත් ජනතාව සොයා ගම්මැද්ද කණ්ඩායම අදත් ගමන් කළේ මොරටුව විශ්වවිද්‍යාලයත් සමග එක්වයි. පවුල් 60 කට අධික සංඛ්‍යාවකට අයත් විශාල පිරිසක් දිවි ගෙවන දෙමටගොඩ මහවිල පටුමග සමන්තා වත්ත ප්‍රදේශයේ ජනතාවගේ නිවාස සියල්ල ඇද හැළුණු අධික වර්ෂාවත් සමග ජලයෙන් යට විණි. සමන්තා වත්ත ආසන්නයේ ඇති හීන් ඇළ කලකින් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් වැසි ජලය නිසි ලෙස බැහැර නොවීම මොවුන් නිරන්තර ජල ගැලීම්වලට ලක් වීමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. කිසි දෙයක් කරකියාගත නොහැකිව අසරණව සිටින මෙම ජනතාවට ජලය පිරී තිබියදීත් එම නිවාසවලම රැඳී සිටීමට සිදුව ඇත්තේ නිවසින් පිටව යාමට ආරක්ෂිත ස්ථානයක් නොමැති කමිනි. ඔවුන් අප සමග පැවසුවේ, ආහාර පිස ගැනීමටවත් ප්‍රමාණවත් පහසුකමක් මේ වන විට නොමැති බව ය. පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද මේ වන විට අඩාල වී තිබේ. සමන්තා වත්තෙහි මෙම පවුල් 60ම භාවිත කිරීමට තිබූ වැසිකිළි දෙක ද මේ වන විට උතුරා ගොස් තිබේ. ඔවුන් පැවසුවේ, සුදුසු ස්ථානයකින් නිවාස ලබා දෙන්නේ නම් මෙම ස්ථානයෙන් පිටව යාමට ඉතා කැමැත්තෙන් සිටින බව ය. මේ අතර ගම්මැද්ද කණ්ඩායම ගොතටුව ඇළහේන මාර්ගයේ ෆොන්සේකා වත්ත ද අද නිරීක්ෂණය කළේ ය. එහි පවුල් 10ක් පමණ මෙලෙස ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ අවිධිමත් සංවර්ධනය හමුවේ ගම්මානයට මායිමෙන් ගලා බසින ඇළ පිටාර ගැලීමෙනි. බ්ලුමැන්ඩල් පෙදෙසේ 478/2 වත්තෙහි පවුල් 25කට අධික සංඛ්‍යාවක ජනතාව ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටියි. මෙම ජනතාව ද පීඩාවට පත්ව සිටින්නේ, වැසි ජලය නිසි ලෙස බැහැරවීමට ක්‍රමවේදයක් නොමැති හෙයිනි.