මුරුංගා කොළ මාලෙන් උණුසුම් වූ ද. පළාත් සභාව

මුරුංගා කොළ මාලෙන් උණුසුම් වූ ද. පළාත් සභාව

by Sagarika Chathumali 09-10-2018 | 1:40 PM

COLOMBO (News 1st) : එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී චන්න සාලිය මහතා මුරුංගා කොළවලින් සෑදු මාලයක් පැළද පළාත් සභාවට පැමිණීම හේතුවෙන් අද  දකුණු පළාත් සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය.

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරීම සඳහා චන්න සාලිය මන්ත්‍රීවරයා මුරුංගා කොළ මාලයක් පැළඳ සභාවට පැමිණ තිබේ. නමුත් සභා ගැබෙන් පිටත රැඳී සිටි එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී ටී. වී. කේ. ගාමිණී සහ අශෝක ධනවංශ ඇතුළු පිරිසක් එම අවස්ථාවේ ඔහුට සභාවට ඇතුළු වීමට ඉඩ නොදීමට උත්සහ කර තිබේ. එම අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හට ගැනිණ. අනතුරුව දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සභා වාරය ආරම්භ විය. එහිදී තම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විදානආරච්චි මහතා ප්‍රකාශ කළේ ය. ඊට සහය දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අනතුරුව ඔවුන්ට විරෝධය දක්වමින් එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සබා මන්ත්‍රීවරු ද සභාව මැදට පැමිණි බවයි. ඒ අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් කතා බහක් හටගෙන ඇති අතර ගුටි බැට හුවමාරුවක් ද සිදු වූ බව අප වාර්තාකරු පැවසී ය. පසුව සභාපතිවරයා තාවකාලිකව සභාව කල් දැමීමට පියවර ගෙන ඇත. අනතුරුව සාමාන්‍ය පරිදි සභා වාරය පැවති අතර එහිදි සභාපතිවරයා සඳහන් කළේ, මින් පසුව කිසිදු බාහිර ද්‍රව්‍යයක් සභා ගර්භයට රැගෙන ඒමට නොහැකි බවයි. https://www.youtube.com/watch?v=ERur6uNwK9c