ආසියානු කුසලානයේ ක්‍රිකට් අනුශුරයින් මව්බිමට

ආසියානු කුසලානයේ ක්‍රිකට් අනුශුරයින් මව්බිමට

by Staff writer 09-10-2018 | 10:12 AM
COLOMBO (News 1st) : 2018 යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශුරයින් බවට පත් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. 2018 වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්විණ. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලිය නිමාවට පත් වූයේ, තරගාවලියේ අනුශූරයින් බවට පත් වෙමිනි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලියේ මූලික වටයේදී B කාණ්ඩයෙන් සත්කාරක බංග්ලාදේශය, පාකිස්ථානය හා හොං කොං කණ්ඩායම් සමග තරග වැදුණු අතර එම තරග සියල්ලම ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ සමත් වූහ. අවසන් පූර්ව වටයේදී ගියවර ශූරයින් වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම තරගය ජය ගත්තේ ලකුණු 31 කිනි. අනතුරුව ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරාජය කොට ලකුණු 144 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.