ශ්‍රවණ ගිලිහුණු කසුන්ගේ නිපැයුම්...

ශ්‍රවණ ගිලිහුණු කසුන්ගේ නිපැයුම්...

by Staff writer 09-10-2018 | 5:09 PM
COLOMBO (News 1st) - මෙරට ජීවත් වන ජනගහණය මිලියන 21කට අධිකයි. ඉන් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් විවිධ ආබාධවලින් පෙළෙන බව වාර්තා වේ. දෑස් නොපෙනෙන, කතා කිරීමට නොහැකි ඒ වගේම ශ්‍රව්‍යාබාධවලින් පෙළෙන බොහෝ දෙනෙකු අද අප සමාජයේ ජීවත් වුවද ඔවුන් අප මෙන්ම, අපටත් වඩා දක්ෂයින් බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතුයි. මෙවැනි ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළන පුද්ගලයෙකු සමග සාමාන්‍ය පුද්ගලයන් අදහස් හුවමාරු කර ගැනීමේදී අදාළ පිරිසට විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වේ. මෙය දෙපාර්ශවයටම පොදු ගැටලුවක් වුව ද, ආබාධිත පිරිසට සාමාන්‍ය පුද්ගලයෙකු සමගින් සන්නිවේදන කටයුතු කිරීම හා ග්‍රහණය කර ගැනීම ඉතා අපහසු බව විශේෂඥයන්ගේ මතයයි. බොහෝ විට මෙම තත්ත්වයෙන් ශ්‍රව්‍යාබාධවලට ලක්ව සිටින පුද්ගලයින් දැඩි ලෙස පීඩා විඳියි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් සිදු කරනු ලබන නව සොයා ගැනීමක් නොබෝ දිනකදී ම හඳුන්වා දීමට නියමිත බැවින් ඉදිරියේ දී, මෙලෙස ශ්‍රව්‍යාබාධවලට ලක්ව සිටින පුද්ගලයින්ට මෙවැනි ගැටලුවලට මුහුණ දීමට සිදු නොවෙනු ඇති. මෙම නව නිපැයුම ජංගම දුරකතනවලට යොදන මෘදුකාංගය එසේත් නැත්නම් "ඇප්" (App) ලෙස නිර්මාණය කර තිබෙන්නේ, 2015වසරේදී 'V Awards' දිනා ගත් 'අහන්න' පදනමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් ජයතුංග මහතා යි. කසුන් ජයතුංග මහතා ගැන කතා කිරීමේදී ඔහුත් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් ඔහු කළ සමාජ මෙහෙවර ඇගයීමට ලක් කරමින් 2015 වසරේ දී ඔහු මෙලෙස 'V සම්මානය' හිමි කර ගත්තේ ය. ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ මෙම මෘදුකාංගය (App) එක තුළින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් සාමාන්‍ය ප්‍රජාව සමග කඩිනමින් අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. සංඥා භාෂා මාධ්‍යයෙන් සැකසූ ශ්‍රව්‍ය සංකල්ප අඩංගු චලනය වන රූප (Sign Language GIF Animation) භාවිත කරමින් කසුන් මෙම මෘදුකාංගය (App) නිර්මාණය කර තිබේ. මෙමගින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා වෙතින් සාමාන්‍ය පුද්ගලයාටත්, සාමාන්‍ය පුද්ගලයා වෙතින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයාටත් ආදී ලෙස අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව පවතී. මෙහිදී මෙම මෘදුකාංගය (App) තුළින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු සාමාන්‍ය පුද්ගලයෙකු සමග අදහස් හුවමාරු කර ගැනීමේදී, සාමාන්‍ය පුද්ගලයා විසින් පවසන දේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයාගේ ජංගම දුරකතන තිරයේ එම අවස්ථාවේදීම පෙන්නුම් කරන අතර ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා පවසන දේ තුළින් වචන බවට පරිවර්තනය කොට සාමාන්‍ය පුද්ගලයා සමග අදහස් හුවමාරුව සඳහා පසුබිම සකසා දෙයි. මේ තුළින් දෙපාර්ශවයටම ඉතා පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. කසුන්ගේ මෙම නිර්මාණයට ශ්‍රී ලංකා බිහිරිවූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සහයෝගය ලැබෙන අතර ඔවුන් හා එක්ව මෙම නිර්මාණයට අදාළ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබයි. මෙම මෘදුකාංගය (App) නිර්මාණය කිරීමේ කටයුතු සඳහා බොහෝ සෙයින් දායක වන්නේ, ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් බව නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වමින් කසුන් ජයතුංග මහතා ප්‍රකාශ කළේ ය. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් නිර්මාණය වන ශ්‍රී ලංකාවේ පළමුවන මෘදුකාංගය (App) මෙය වන අතර නොබෝ දිනකින් එය හඳුන්වා දීමට කටයුතු සිදු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ඉහත නිර්මාණය සදහා මෙවර e-Swabhimani 2018 තරගාවලියේ INCLUSION AND EMPOWERMENT අංශයෙන් තේරී පත් වූ අවසන් නිර්මාණ කිහිපය අතරට ද, එමෙන් ම World Summit Award 2018 තරගාවලියේ රටවල් 100කට අධික සංඛ්‍යාවකින් ‍තෝරා ගත් නව නිපැයුම් 400ක් අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තේරී පත්වී ඇති අතර මෙම මෘදුකාංගය ඉදිරියේදී සමස්ත බිහිරි ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ සන්නිවේදන බාධකය බිඳ හෙළීමෙහිලා ඉමහත් ලෙස උපකාරී වේ යැයි ඔහු අපේක්ෂා කරයි. කසුන්ගේ මෙම නිර්මාණයට අමතරව ඔහු ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් තවත් නිර්මාණ රැසක් සිදු කර තිබේ. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ගේ සාක්ෂරතාව වැඩි දියුණු කිරීම උදෙසා ඔහු සුවිශේෂී දායකත්වයක් දක්වා ඇත. කසුන් අප සමග පැවසුවේ, ශ්‍රව්‍යාබාධිත දරුවන් පාසලේදී ඉගෙන ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉගෙනුම් මෘදුකාංගයක් ( Windows App) මේ වන විට නිර්මාණය කර ඇති බව ය. නිවැරදිව ව්‍යාකරණාකූලව වාක්‍ය තනන ආකාරය ඉගෙනීම සඳහා ස්ව අධ්‍යයන මෘදුකාංගයක් සමගින් සිංහල ඉගෙන ගැනීම සඳහා ශ්‍රව්‍යාබාධිත දරුවන්ට මේ වන විට කසුන් අවස්ථාව උදා කර දී තිබේ. ඒ, ඔහු විසින් ඒ සඳහා නිර්මාණය කළ e-Sign Reader 'සංඥා භාෂාවෙන් ව්‍යාකරණ ඉගෙනිමු' නම් මෘදුකාංගය (App) මගිනි. එමෙන් ම ශ්‍රව්‍යාබාධිත දරුවන්ට ලබා දෙන පාසල් අධ්‍යාපනය තුළ ඔවුන්ගේ ලිඛිත හැකියාව දියුණු කිරීම සඳහා මේ දක්වා කිසිදු ක්‍රමවේදයක් නොතිබේ. මේ හේතුවෙන් එම දරුවන් විවිධ ගැටලුවලට මුහුණ දෙන අතර ඊට අත්වැලක් දෙමින් කසුන් නිසි අධ්‍යයනයක් කර ව්‍යාකරණ නිවැරදිව පහසුවෙන් ඉගෙන ගැනීම සඳහා 'සංඥා භාෂාවෙන් ව්‍යාකරණ ඉගෙනිමු' නම් ග්‍රන්ථය එළිදක්වා තිබේ. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම මගින් ශ්‍රව්‍යාබාධිත දරුවන්ට සිය ලිඛිත හැකියාව ස්ව ශක්තියෙන්ම දියුණු කර ගැනීමේ හැකියාව පවතී. මීට අමතරව ශ්‍රව්‍යාබාධිත දරුවන්ට ලබා දෙන පාසල් පෙළපොත්වලට සමගාමීව විධිමත්ව අධ්‍යාපනය ලබා දිය හැකි, සංඥා භාෂාවෙන් නිර්මාණය කරනු ලැබූ DVD තැටියක් කසුන් විසින් හඳුන්වා දී තිබේ. කසුන් විසින් නිර්මාණය කරනු ලැබූ මෙම නිර්මාණ සියල්ලම මෙරට සිටින සියලු ම ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට නොමිලේ ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු අප සමග පැවසුවේ ය. එයට අමතරව ඉහත සඳහන් මෘදුකාංග සියල්ල නොමිලයේ භාගත කිරීමට ඔහු ඉදිරියේදී තම පදනමේ නිල වෙබ් අඩවිය වන www.ahanna.org හරහා පහසුකම් සපයා දීමට ද බලාපොරොත්තු වේ. මේ මෘදුකාංග ලබා ගැනීමට කැමැත්තෙන් පසුවන අයෙක් වෙත්නම් [email protected] යන ඊමේල් ලිපිනය මගින් හෝ 071-86 86 522 යන දුරකතන අංකයට SMS පණිවුඩයක් එවීම මගින් ලබා ගත හැකි ය.