දිවයින පුරා අද ත් මහ වැසි

දිවයින පුරා අද ත් මහ වැසි

දිවයින පුරා අද ත් මහ වැසි

කර්තෘ Staff writer

09 Oct, 2018 | 6:17 am

COLOMBO (News 1st) : බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයාමේ රතු අවදානම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසී ය.

එහි නායයාම් අධ්‍යන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, ගාල්ල කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට ද නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

පසුගිය 01 වනදා සිට පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් මරණ 04 ක් වාර්තා වී ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයෙනි.

ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ 02 බැගින් වාර්තා වී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පවුල් 12,478 ක පුද්ගලයින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි.

අධික වැසි සමග ඇතිවූ ජල ගැලීම් , පස් කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පූර්ණ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 35කි.

නිවාස 1668 කට අධික සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.