විශ්‍රාමිකයෝ පාර්ලිමේන්තු පාර අවහිර කරති

ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඉල්ලා විශ්‍රාමිකයෝ පාර්ලිමේන්තු පාර අවහිර කරති

by Staff writer 09-10-2018 | 7:47 PM
COLOMBO (News 1st) - ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඉල්ලා සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය අද පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට පැමිණියේ ය. දිවයින පුරා සිටින රජයේ සේවයෙන් විශ්‍රාම ගත් පිරිසක් මෙම විරෝධතාවට සහභාගී වූහ. මේ හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ ප්‍රධාන මාර්ගය පැය 2කට ආසන්න කාලයක් අවහිර වී තිබිණි. මෙම විරෝධතාව පැය 3කට ආසන්න කාලයක් පැවති අතර අනතුරුව විරෝධතාකරුවන් අතරින් 5 දෙනෙකුට නියෝජ්‍ය කථානායකවරයා හමුවීම සඳහා පොලීසිය ඉඩ ලබා දුන් බව සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් යූ.එච්. ලියනගේ මහතා සඳහන් කළේ ය. ඔවුන්ගේ ඉල්ලීම් සහිත ලිපිය නියෝජ්‍ය කථානායකවරයා භාර ගත් බවත් එය කථානායකවරයාට ලබා දෙන බවට නියෝජ්‍ය කථානායකවරයා තමන්ට පොරොන්දු වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. විශ්‍රාමිකයින් ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඉල්ලා සිටිද්දී විශ්‍රාම දිවිය වඩා පහසුවෙන් ගත කිරීමට ඇති සේවක අර්ථ සාධක අරමුදල ද පසුගිය කාල සීමාවේ විවිධ ආයෝජනවලට යොදවා අවභාවිත කෙරිණි. බැඳුම්කර වංචාව නිසා සේවක අර්ථ සාධක අරමුදලට සිදු කළ පාඩුව කෝටි 1800කි. 2008 - 2011 කාල සීමාවේ කොටස් වෙළෙඳපොළ සිදු කළ ආයෝජන නිසා අරමුදලට රුපියල් කෝටි 2800ක් පාඩු කළ බව පවසමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අධිකරණය හමුවට පවා ගියේ ය. පසුගියදා ශ්‍රීලංකන් ගුවන් සේවය ගැන කරුණු විමසන ජනාධිපති කොමිසමේදී අනාවරණය වූයේ, සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ සිදු කළ ඇතැම් ආයෝජනවලට කිසිදු ලාභාංශයක් ලැබී නොමැති බව ය. කාගීල්ස් බැංකුවේ රුපියල් මිලියන 495ක්, කැන්විල් හෝල්ඩින්ග් සමාගමේ ආයෝජනය කළ රුපියල් බිලියන 5ක් ද ඒ අතර වේ. 2010 අරමුදල ශ්‍රීලංකන් ගුවන් සේවයේ රුපියල් මිලියන 500ක් ආයෝජනය කර ඇත්තේ එවක පැවති නීති උල්ලංඝනය කරමින් බව ද කොමිසමේදී අනාවරණය විය. සේවක අරමුදල් මේ අයුරින් විනාශ කිරීම අපරාධයක් නොවන්නේ ද?