ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් සංස්ථාවට කොළඹ මහ නගර සභාවෙන් මිලියන 100 ක්

by Staff writer 08-10-2018 | 7:16 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අද යළි කොළඹ කසළ භාර ගැනීම ආරම්භ කළේ ය.

ඒ, කොළඹ මහ නගර සභාව රුපියල් මිලියන 100 ක මුදලක් ගෙවීමෙන් අනතුරුවයි. කොළඹ මහ නගර සභාව, කැලණිය ප්‍රාදේශිය සභාව, පෑලියගොඩ නගර සභාව, වත්තල නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක කසළ බැහැර කෙරෙන්නේ, කෙරවලපිටිය පිහිටි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් භූමියටයි. නමුත් ඊයේ කසළ බැහැර කිරීමට එහි ගිය කොළඹ මහා නගර සභාවේ රථවලට එම භූමියට ඇතුලුවීමට අවසර හිමි වූයේ නැත. ඒ කසළ බැහැර කිරීමට අදාළ මුදල් කොළඹ මහා නගර සභාව නිසි පරිදි නොගෙවීම හේතුවෙනි. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් පසු මතු වූ තත්ත්වයත් සමග කොළඹ කසළ කළමනාකරණයේ වගකීම බස්නාහිර සංවර්ධන හා මහා නගර අමාත්‍යංශය වෙත පැවරිණි. නමුත් පසුගිය ජනවාරි පළමු වෙනිදා සිට එම වගකීම යළි ත් පළාත් පාලන අමාත්‍යාංශයට හා ඊට අනුබද්ධ මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභාවලට පැවරූ බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය. කෙසේවෙතත් කෙරවලපිටිය කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානය කළමනාකරණයේ වගකීම පැවරුණේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවටයි. කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ, රුපියල් මිලියන 207 හදිස්සියේ ගෙවන ලෙස ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉල්ලා සිටීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වූ බව ය.