රවීට එරෙහි නඩුවේ රවි සැකකරුවෙක් නොවෙයි

by Sagarika Chathumali 08-10-2018 | 1:06 PM
COLOMBO (News 1st) : දැනට ලැබී ඇති සාක්ෂි අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහි අසත්‍ය සාක්ෂි ලබා දීමේ නඩුවේ සැකකරුවෙකු ලෙස ඔහු නම් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද කියා සිටියේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, රවී කරුණානායක මහතාට එරෙහිව සිදුකරන විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසයි. රවී කරුණානායක මහතාට අයත් බව කියන සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අවසරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිමි බව ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේ ය. ලබන 22 වන දා මේ පිළිබඳ විමර්ශන ප්‍රගතිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ චෝදනා මත රවී කරුණානායක මහතාට එරෙහිව මෙම නඩු ගොනු කර තිබේ.