යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී

යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී

by Staff writer 08-10-2018 | 9:05 AM
COLOMBO (News 1st) : තුන්වන යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී ආරම්භ විය. විචිත්‍රාත්මක අංග රැසකින් වර්ණවත් වූ තුන්වැනි යොවුන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා එරට ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටවල් 206 ක් නියෝජනය කරමින් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4000 කට ආසන්නයි. ක්‍රීඩා 32 ක ඉසව් 241 ක් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා 12 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී වේ. ඒ අනුව මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, පැසි පන්දු, ජිම්නාස්ටික් හා වෙඩි තැබීම යන ක්‍රීඩා ඉසව් 6ක් නියෝජනය කරමින් මෙම පිරිස යොවුන් ඔලිම්පික් තරගාවලියට එක්වීමට නියමිතයි. තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාවේ හසිනි අම්බලන්ගොඩ කාන්තා කේවල බැඩ්මින්ටන් තරග ඉසව්වේ මූලික වටයේ සහභාගී වූ තරගයකින් ජය හිමිකර ගත්තා ය. ඇය හමුවේ වට 2 ට 0 ක් ලෙස පරාජය වූයේ ඩොමිනික් රාජ්‍යයේ ජිමෙනස් නයිරොබියි. චනිදු සේනානායන මීටර් 10 වායු රයිෆල වෙඩි තැමීමේ තරග ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් සදහා සහභාගී වූ අතර එහීදී ඔහුට හිමිවුණේ, 17 වන ස්ථානයයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගී වන එක ම පිහිණුම් ක්‍රීඩකයා වන අකලංක පීරීස් මීටර් 100 පසුපසාර පිහිණුම් තරග ඉසව්වේ පළමු අවසන් පූර්ව වටය සඳහා සහභාගී වූ අතර එහිදී ඔහුට හිමිවූයේ, අවසන් ස්ථානයයි. අකලංක එහීදී දැක්වූ දක්ෂතාව තත්පර 57.35 කි. තුන්වන යොවුන් ඔලිම්පික් උළෙලේ තරග අද දෙවන දිනටත් පැවැත්වේ. මෙවර යොවුන් ඔලිම්පික් උළෙල එළඹෙන 18 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.