මහ වැසි තවම අවසන් නැහැ

මහ වැසි තවම අවසන් නැහැ

by Staff writer 08-10-2018 | 6:15 AM
COLOMBO (News 1st) : අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දින කිහිපයක සිට මෙරට තද වැසි සහිත කාලගුණයක් පැවතීමට හේතු වූ ගිනිකොණ දිග ආරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබේ. ඒ හේතුවෙන් ඊයේ වැසි තත්ත්වයේ යම් අඩුවක් පැවතිය ද, අද ත් දිවයිනේ දකුණු, මධ්‍යම, සබරගමුව, සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. සෙසු ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණුවලින් සිදු වන අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන ලෙසයි. එමෙන්ම, ආරාබි මුහුදේ පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කළ ද ගිණිකොනදිග බෙංගාල බොක්ක හා උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත කලාපයේ මේ වනවිට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමිල්නාඩු හා කේරළ ධීවරයින්ට අනතුරු අඟවා ඇත්තේ, අද දිනයේ උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙසයි. දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත යාත්‍රාවලට ගොඩබිමට පැමිණෙන ලෙස ද ඉන්දීය කාලගුණ බලධාරින් එරට ධීවරයින්ට උපදෙස් දී තිබේ. එම නිවේදනය මෙරට ධීවරයින්ට ද එලෙස ම වලංගු බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. ‍ මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බැවින් කඳු හා නායයාමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා ඉල්ලා සිටී. මේ අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතානගේ මහතා පැවසුවේ මේ වන විට පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි. වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි පාරිභෝගිකයින් 8500 කට විදුලි බලය ඇණහිට ඇතැයි විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂන ජයවර්ධන මහතා සඳහන් කළේ ය. පවතින වර්ෂාපතනය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව 80% ඉක්මවා ඇති බව ඔහු සඳහන් කළේ ය. මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ, වර්ෂාපතනය වැඩිවීමත් සමග පාසල්වලට බලපෑම් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.