නි. පොලිස්පති නාලක හා නාමල්ට රට යාම තහනම්

නි. පොලිස්පති නාලක හා දූෂණ විරෝධී මෙහෙයුම් බලකායේ නාමල්ට රට යාම තහනම්

by Staff writer 08-10-2018 | 12:20 PM
COLOMBO (News 1st) : පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද තහනම් නියෝගයක් නිකුත් කළේ ය. මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර සිටියේ, අදාළ නියෝගය වහා ම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසයි. නාලක සිල්වා මහතාගේ සහ නාමල් කුමාර මහතාගේ කටහඬ සාම්පල ලබාගෙන කළ පරීක්ෂණයේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතා භාරයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී රජයේ රසපරීක්ෂකවරයාට නියෝග කළා ය. පසුගිය පස්වන දා, අධිකරණය විසින් නිකුත් කළ නියෝග අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය. සිය සේවාදායකයා  මේ සම්බන්ධයෙන් සිදුකරන ඕනෑ ම පරීක්ෂණයකට සහය ලබා දීමට සූදනම් බව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් කියා සිටියේ ය. කෙසේ නමුත් එම අවස්ථාවේදී නාමල් කුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, සිය සේවා දායකයා විසින් කරුණු අනාවරණය කරනු ලැබුවේ,  ඝාතන කුමන්ත්‍රණ සැලැස්මක් පිළිබඳව බැවින් චෝදනා එල්ල වී ඇති පුද්ගලයා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වීම නිසා ත් ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට බාධා එල්ලවී ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විවිධ පාර්ශවවලින් බලපෑම් එල්වී ඇති බව තමන් වගකීමෙන් අධිකරණය හමුවේ පෙන්වා දෙන බව නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. මෙම දෙදෙනාගේ කටහඬ සාම්පල පිළිබඳ රස පරීක්ෂක වාර්තාව ලද වාහ ම ඉදිරි නීතිමය පියවර ගතයුතු බව මහේස්ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා ය.