ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි

by Sagarika Chathumali 08-10-2018 | 9:50 AM

COLOMBO (News 1st) : හිටපු නීතිපතිවරයෙකු වූ ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ශිබ්ලි අසීස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 75 වන වියේ පසු විය. ජනාධිපති කොමිෂන් සභා රැසක සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති ශිබ්ලි අසීස් මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළේ ය. 1968 වර්ෂයේදී නීතිඥයෙකු ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව සිය වෘත්තීය ගමන් මග ආරම්භ කළ ශිබ්ලි අසීස් මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකි. මේ අතර ශ්‍රී ලංකාවේ 37 වන නීතිපතිවරයා වූ ඒ මහතා මෙරට නීති ක්ෂේත්‍රය වෙනුවෙන් දැක් වූ දායකත්වය ද අතිමහත් ය. රාජගිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේශපාලඥයින්, නීති ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් පැමිණියහ. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණේ ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී යි.