කාලගුණෙන් ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

කාලගුණෙන් ජනතාවට අවවාදාත්මක නිවේදනයක්

by Staff writer 08-10-2018 | 1:59 PM
COLOMBO (News 1st) : මධ්‍යම සහ ආසන්න ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, හා අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුළ තවදුරටත් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට සිට 10 වන දා දක්වා, තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලීමීටර් 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි සමග සුළං වේගය ද පැයට කිලෝ මීටර් 70- 80 දක්වා ඉහළ යා හැකි වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි.