කළුතර දිස්ත්‍රික්කයට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත්

කළුතර දිස්ත්‍රික්කයට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත්

කළුතර දිස්ත්‍රික්කයට නිකුත් කළ නායයෑමේ රතු නිවේදනය තවදුරටත්

කර්තෘ Staff writer

08 Oct, 2018 | 4:27 pm

COLOMBO (News 1st) 

Update: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑමේ රතු අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නායයෑම් අධ්‍යයන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, ගාල්ල, කෑගල්ල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

පසුගිය 01 වන දා සිට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු ව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත.

එම මරණවලින් මරණ 04 ක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි.

ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් මරණ 02 බැගින් වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වන බවයි.

එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පවුල් 12,478 ක පුද්ගලයින් 48,918 දෙනෙකු මේ වන විට පීඩාවට පත් ව ඇති බව ය.

අධික වැසි සමග ඇති වූ ජල ගැලීම්, කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පුර්ණ හානි සිදු ව ඇති නිවාස සංඛ්‍යාව 35 කි.

නිවාස 1668 කට අධික සංඛ්‍යාවකට අර්ධ හානි සිදු ව ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 950 ක දුරින් ස්ථානගතව පවතින බවයි.

ඒ හේතුවෙන් දිවයිනට බලපා ඇති වැසි තත්ත්වය ලබන 10 වන දා දක්වා තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

—————————————————————————————————————————————–

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබඳ ගඟ දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළාය.

මේ අතර ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සහ අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් ජල මට්ටම ඉහළ ගිය ද මේ වන විට එම තත්ත්වය පහව යමින් පවතින බව ඇය සඳහන් කළා ය.

කෙසේ වෙතත් ප්‍රදේශ රැසකට වැසි ඇදහැලෙමින් පවතින බැවින් ගංගා දෙපස ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.