සෞදි මාධ්‍යවේදියාට මොකද වුණේ...?

තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය මාධ්‍යවේදියාට මොකද වුණේ...?

by Sagarika Chathumali 07-10-2018 | 6:24 PM

තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයට ඇතුළු වූ සෞදි අරාබියානු මාධ්‍යවේදියා ඝාතනය කර ඇති බවට විශ්වාස කරන බව තුර්කි පොලීසිය පවසයි.

ජමාල් ඛෂෝගි නමැති වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියා එලෙස ඉස්ථාන්බුල් නුවර පිහිටි සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළු වී ඇත්තේ, පසුගිය අඟහරුවාදා දිනයේදීයි. කෙසේ වෙතත් කොන්සල් කාර්යාලට ඇතුළු වූ ඛෂෝගි යළි ඉන් පිටතට පැමිණ නොමැති අතර පසුව මේ සම්බන්ධයෙන් තුර්කි පොලීසිය විමර්ශනක් ආරම්භ කර ඇත. තුර්කි පොලීසිය විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, මේ දක්වා සිදු කළ මූලික විමර්ශනවලට අනුව ඔහු ඝාතනය කර ඇති බවට පෙන්නුම් කෙරෙන බවයි. එම ඝාතනය සැලසුම් සහගතව කළ දෙයක් බව ත් මේ වන විට අදාළ මාධ්‍යවේදියාගේ සිරුර කොන්සල් කාර්යාලයෙන් ඉවත්කර ඇති බව ත් තුර්කි පොලීසිය වැඩිදුරටත් පවසා ඇත. කෙසේ වෙතත් ඝාතනය සිදුකර ඇත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තුර්කි පොලීසිය මෙතෙක් කරුණු හෙළිදරව් කර නොමැත. ඔහු කොන්සල් කාර්යාලයට ගොස් ඇත්තේ, සිය තුර්කි ජාතික අනාගත සහකාරිය විවාහ කර ගැනීම සඳහා හිටපු සෞදි බිරිඳගෙන් දික්කසාද වූ බවට සහතික කෙරෙන ලේඛනයක් ලබා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සෞදි ආරබිය තුර්කි පොලීසියෙන් එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, තමා ද ඛෂෝගි සෙවීමේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මේ අතර සෞදිය පවසන්නේ, සිය රටට සැඟවීමට කිසිවක් නොමැති බවත් ඔහුට සිදුවූයේ කුමක් දැයි දැන ගැනීමට උනන්දුවෙන් පසුවන බවත් ය. වොෂින්ටන් පෝස්ට් පුවත්පත මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, තුර්කිය පවසන පරිදි ඛෂෝගි ඝාතනය කර ඇත් නම් එය භයානක මෙන්ම අප්‍රකට ක්‍රියාවක් බවයි.

කවුද මේ ජමාල් ..?

59 හැවිරිදි ජමාල් ඛෂෝගි වොෂින්ටන් පුවත්පතේ විචාරාත්මක මාධ්‍යවේදියෙකු වන අතර ඔහු සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සම්බන්ධයෙන් විචාරාත්මක පුවත් පළ කළ මාධ්‍යවේදියෙකු මෙන් ම මානව හිමිකම් මෙන් ම කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිකයෙකු ද වේ. වසර කිහිපයක් සෞදියේ මාධ්‍ය ආයතන කිහිපයක සේවය කර ඇති ඔහු සෞදි රජ පවුල හා සමීපව කටයුතු කළ අයෙකි තව ද ඔහු සෞදියේ ඉහළ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදේශකයෙකු ලෙස ද ක්‍රියා කර ඇත. පසු කාලීනව ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සෞදියේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහුගේ පුවත්පත් තීරු ලිපිය ද අවලංගු කර තිබේ. ට්විටර් ගිණුමේ අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ද ඔහුට අනතුරු ඇඟවීම් නිකුත් වී ඇත. මෙකී වටපිටාව හමුවේ ජමාල් ඛෂෝගි සි මව්බිම අතහැර අමෙරිකාවට පිටත්ව ගොස් එහිදී වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කිරීම අරඹා ඇත.