කළු, ගිං, කැලණි ගංගාවල ජල මට්ටම් ඉහළට

කළු, ගිං, කැලණි ගංගාවල ජල මට්ටම් ඉහළට: විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස්...

by Staff writer 07-10-2018 | 9:15 PM
COLOMBO (News 1st) : දිවයිනේ කාලගුණයට බලපෑම් කළ ගිනිකොණ දිග ආරාබි මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද රාත්‍රියෙ ත් දිවයිනේ දකුණු, මධ්‍යම, සබරගමුව, සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. මේ අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක හා උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත කලාපයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබේ. අධික වර්ෂාවත් සමග කැලණි, කළු , නිල්වලා, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළේ, ජල මට්ටම ඉහළ යාමත් සමග ගංගා දෙපස ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බවයි. අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රිකක්යේ පුද්ගල මරණ තුනක් වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් ලේකම් යූ. ඩි. සී. ජයලාල් මහතා සඳහන් කළේ ය. මේ අතර ගාල්ල වදුරඹ ඌරපහළ ප්‍රදේශයේදී ජල ගැලීමට හසුවී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු ඊයේ පස්වරුවේ රාජකාරි නිමවා නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. මේ අතර ඊයේ රාත්‍රියේ බෙන්තර ගගේ අතුගංඟාවක් වන මූණමල්වත්ත ගඟ පිටාර ගැලීම හේතුවෙන් වැලිපැන්න නල්ලගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙක් දියේ ගිලි මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි අයෙකි. මේ අතර ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ , කළුතර , ගාල්ල , මාතර , පුත්තලම ඇතුළු දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී තිබේ. මේ අතර ජල ගැලීම් තත්ත්වය හේතුවෙන්, බොරැල්ල වනාතමුල්ල හල්ගහකුඹුරවත්ත ප්‍රදේශයේ නිවාස 480කට පමණ බලපෑම් එල්ල වී තිබේ. කොළඹ නගරාධිපති රෝසී සේනනායක මහත්මිය සඳහන් කළේ, පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගෙන ඇති බවයි. පීඩාවට පත් වූ පිරිස් කඳවුරු දෙකක රඳවා ඇතැයි ද, ඇය සඳහන් කළා ය. අප වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රදේශයෙන් අඩි 4ක පමණ ජල ගැලීම් වාර්තා වන බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ , මහරගම, තිබිරිගස්යාය, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ජල ගැලීම් හේතුවෙන්, බලපෑම් එල්ල වී තිබේ. දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 750කට අධිකයි. ජලගැලීම් හේතුවෙන්, නිවාස 300කට ආසන්න ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇතැයි ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. මේ අතර, ගිංඟේ ජල මට්ටම ඉහළයාමත් සමග ගිං ගඟ දෙපස පහත් බිම් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරු පැවසුවේ මුල්කඩ, බබරැහිකඩ,කුට්ටියාවත්ත, ඉනිමංකඩ ඇතුළු ප්‍රදේශ ඒ අතර වන බවයි. ගිං ගඟේ බද්දේගම ජල මාපකය මීටර් 4.10 ලෙස වර්ධනය වී තිබේ. මේ හේතුවෙන් බද්දේගම උඩුගම මාර්ගය හා බද්දේගම අගලිය මාර්ගය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගවල ගමනාගමන කටයුතු ඇනහිට තිබේ. ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ ගිං ගඟේ ඉහළ ජල පෝෂිත ප්‍රදේශයන් වන නෙළුව , තවලම හිනිදුම ආදී ප්‍රදේශවලට නොකඩවා ලැබෙන වර්ෂාව හේතුවෙන්, ගිං ගඟ දෙපස ජනතාව අවධානයෙන් සිටින ලෙසයි. වරකාගොඩ උඩෝවිට ප්‍රදේශයේ අද උදෑසන 4ට පමණ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 4දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. නාය යාම හේතුවෙන් නිවාස 03කට අලාභ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. මේ අතර අගුරුවාතොට කළු ගඟේ ජලමාපකය මීටර් 10ක් දක්වා ඉහළ යාමත් සමග ගංවතුර අවදානමක් මතුව තිබේ. රෙමුණ, මදුරාවල, යාල, ආදී පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවී ඇතැයි අප වාර්තාකරුවෝ සඳහන් කළහ. මේ අතර කුකලේ ගඟ පිටාර ගැලීම නිසා බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දිය සම්පූර්ණයෙන් ම ජලයෙන් යටවී වාහන ධාවනට දැඩි බාධා මතුවිය. මතුගම , අගලවත්ත , මෝල්කාව අවිත්තාව අලුත්ගම කුඩලිගම යන ප්‍රදේශ වල පහත් බිම් ජලයෙන් යටවී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, දක්ෂීණ අධීවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ද තවදුරටත් ජලයෙන් යටවී ඇති බවයි. වැලිපැන්න අලුත්ගම ප්‍රධාන මාර්ගය , බදුරඑලිය කලවාන ප්‍රධාන මාර්ගය , වැලිපැන්න අවිත්තාව ප්‍රධාන මාර්ගය සහ කුලිගම යන ප්‍රධාන මාර්ග අඩි 3 ක් පමණ ජලයෙන් යටවී තිබේ. කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පෑලියගොඩ ඔලියමුල්ල ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ, මේ හේතුවෙන් නිවාස 300 ක් පමණ ජලයෙන් යටවී ඇති බවයි. මාතර වැලිගම කොක්මාදුව 5 හේ කණුව ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා ,මාතර කොක්මාදුව අධීවේගි පිවිසුම අවහිර වී තිබේ. ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම වනාතවිල්ලුව රාල්මඩුව වැ‍වේ , වැව් බැම්මේ කොටසක් කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් ඊයේ රාත්‍රී කාලය වන විටත් රාල්මඩුව වැවේ ජල මට්ටම ඉතා ඉහළ මට්ටමක පැවති බවයි. මේ හේතුවෙන් කුඹුරු අක්කර 125 පමණ ජලයෙන් යටවී තිබේ. මේ අතර කලා ඔය පිටාර ගැලීම නිසා විල්පත්තු රක්ෂිතයට පිවිසෙන එළුවන්කුළම මාර්ගය අඩි තුනක් පමණ ජලයෙන් යට විය. අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ම ඇනහිට ඇති බවයි. ඒ හේතුවෙන් විල්පත්තු රක්ෂිතය නැරඹීමට පැමිණි සංචාරකයින් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. මේ අතර කළුතර, ගාල්ල, බදුල්ල, සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග සහන කටයුතු සඳහා හමුදා භට පිරිස් අනුයුක්ත කර තිබේ. මේ අතර ජල ගැලීම් හේතුවෙන්, මුහුදු ඛාදනය ද ඉහළ ගොස් ඇතැයි, වෙරළ සංරක්ෂණ‍ හා වෙරළ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, මුහුදු ඛාදනය වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර අධික වැසි සමග දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇනහිට ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලි බලය ඇනහිටීමෙන් පාරිභෝගිකයින් 8000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.ෙ මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනය වූ මිලිමිටර් 334.1ක වාර්තා වන්නේ වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පෝද්දිවෙල ප්‍රදේශයෙනි. ගාල්ල හිනිදුම ප්‍රදේශයට මිලිමිටර් 277 දශම 5 ක් ද , කළුතර දිස්ත්‍රික්කයේ වෝගන් වතුයායට මිලිමිටර් 235.7 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. බද්දේගම ප්‍රදේශයට මිලිමිටර් 195 ක්, පාදුක්ක ප්‍රදේශයට මිලිමිටර් 186.7 ක්, අංගොඩ ප්‍රදේශයට මිලිමිටර් 180 ක් හා කොළඹ ප්‍රදේශයට මිලිමිටර් 119.8 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. https://www.youtube.com/watch?v=v_g4JLeYVKA