සීනි මිල ඉහළට: පාලන මිල තවම ප්‍රමාද ඇයි?

සීනි මිල ඉහළට: පාලන මිල තවම ප්‍රමාද ඇයි?

by Staff writer 06-10-2018 | 10:16 PM
COLOMBO (News 1st) - නව බදු ක්‍රමය නිසා වෙළෙඳපොළේ සීනි මිල ගණන් වැඩි වී තිබේ. නමුත් මෙම මිල වැඩි වීමේ වාසිය ලබා ගෙන ඇත්තේ ව්‍යාපාරිකයින් 3 දෙනෙකි. සීනි සඳහා පනවා තිබූ රුපියල් 31ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව බදු ව්‍යුහයක් හඳුන්වා දීමට පසුගිය සැප්තැම්බර් මස 17 වන දා මුදල් අමාත්‍යංශය පියවර ගත්තේ ය. ඒ අනුව නව බදු ක්‍රමයට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා අද වන විට දැරිය යුතුව ඇති මුළු බදු ප්‍රමාණය රුපියල් 43ක් පමණ වේ. ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා ගෙවිය යුතු මිල පසුගිය කාලයට සාපේක්ෂව අඩුවී ඇති බැවින් මෙම පියවර ගත් බවත් සිල්ලර වෙළෙඳපොළට එමගින් බලපෑමක් නොවන බවත් මුදල් අමාත්‍යංශය එහිදී සඳහන් කළේ ය. නමුත් බදු පැනවීමට පෙර තොග වෙළඳපොළේ රුපියල් 91ක් වූ සීනි කිලෝග්‍රෑම් එකක මිල මේ වන විට රුපියල් 100 ඉක්මවා තිබේ දළ වශයෙන් රුපියල් 15කට වැඩි ප්‍රමාණයකින් තොග වෙළෙඳපොළේ පමණක් සීනි කිලෝග්‍රෑම් එකක මිල වැඩි වී තිබේ. බදු වෙනස් කිරීමට පෙර මෙරට සියලු ම සීනි තොග පිරමිඩ් විල්මර්, විල්සන් ට්‍රේඩින් සහ පල්ලෙගොඩ ට්‍රේඩින් නමැති සමාගම් 3 සතු කර ගෙන තිබිණි. ආනයනකරුවන් පැවසුවේ, පිරමිඩ් විල්මර් සමාගම තමන් සතුව තිබූ වැඩි සීනි ප්‍රමාණයක් මිලදී ගෙන තිබූ බව ය. මේ අනුව සීනී මෙට්‍රික් ටොන් 60000ක් පමණ මෙම ව්‍යාපාරිකයින් තුන් දෙනා සතුව ඇතැයි ජීවන වියදම් කමිටුවේදී අනාවරණය වී තිබේ. බදු වැඩි වීම නිසා සිදු වූ වාසිය යොදා ගෙන මෙම සමාගම් සීනී කිලෝග්‍රෑම් එකකට අඩුම තරමේ රුපියල් 10 ක පමණ ලාභයක් උපයමින් සිටින අතර මෙට්‍රික් ටොන් 60000 ලබන ලාභය අඩුම තරමේ මිලියන 600කි. ජීවන වියදම් කමිටුව මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සීනි සඳහා පාලන මිලක් පැනවීමට තීරණය කර තිබුණේ පසුගිය දෙවන දා ය. මේ අනුව සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 95ක් ද සිල්ලර මිල රුපියල් 100ක් ද විය යුතු ය. පාලන මිලක් පැනවීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයට උපදෙස් ලබා දුන්න ද තවමත් එය ක්‍රියාත්මක කර නොමැත. මෙම පාලන මිල ගැසට් කිරීමේ නිසි බලධාරියා වන්නේ පාරිභෝගික අධිකාරිය යි.