පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේත් තව දුරටත්

පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේත් තව දුරටත්

by Staff writer 06-10-2018 | 1:52 PM

COLOMBO (News 1st) 

UPDATE - 5.24 PM : දිවයිනට බටහිර දෙසින්, ආරාබි මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේ තවදුරයත් වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ, සහ බස්නාහිර පලාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි. උතුරු මැද, දකුණු පළාත්වලත්, මන්නාරම, වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි වනවා. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇතිවනු ඇති. මේවන විට ඇඳහැලෙන අධික වර්ෂාව හේතුවෙන්, මහරගම - පිළියන්දල මාර්ගයේ ඇරව්වල, සහ කළුතර, දොඩංගොඩ ඇතුළු ප්‍රදේශවල අතුරු මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. මේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කලේ, කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලින් තද වැසි වාර්තා වන බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා පස්සර ප්‍රදේශවලට පැනවූ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා. මේ අතර, හෙට පස්වරු 1.30 දක්වා මුහුදු යාමෙන් වලකින ලෙස, ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට අනතුරු අඟවා තිබෙනවා. -----------------------------------------------------------------------------------------------------------------------------------------

ඉදිරි පැය 24 තුළ (හෙට පස්වරු 1.30 දක්වා) මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වළකින ලෙසට ධීවරයින්ට අනතුරු ඇඟවීම්.

-----------------------------------------------------------------------------------------------------------------------------------------

මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇති. කළුතර සිට ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට පස්වරුව දක්වා මුහුදු රළ මීටර් 2 - 2.5 ත් දක්වා ඉහළ යා හැකියි. මේ පිළිබඳව ධීවර ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. මේ අතර අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 36 ක කාලය තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී සුළු කුණාටුවක් දක්වා වර්ධනයවීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම පද්ධතිය වයඹ දිශාවට ඕමාන් වෙරළතීරය දෙසට ගමන් කරනු ඇති. පවතින තත්ත්වය පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි සහ මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පත්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. මේ අතර මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, උතුරු මැද සහ දකුණු පළාත්වලට සහ මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනු ඇත. පවතින සුළං තත්ත්වය හේතුවෙන් නවගත්තේගම ප්‍රදේශයේ නිවාස 10 කට පමණ හානි සිදු ව ඇතැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.