කඳානේ ඝාතනය සිද්ධිය: ප්‍රධාන සැකකරු දියේ ගිලී මරුට

කඳානේ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු දඬුගම් ඔයේ ගිලී මරුට

by Staff writer 06-10-2018 | 10:55 AM

COLOMBO (News 1st) - කඳාන වැලිගම්පිටියේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පළායාමට තැත්කිරීමේදී ජාඇල දඬුගම් ඔයේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඉලන්දාරිගේ සංජීව හෙවත් අමුණුගොඩ සංජීව නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු එළෙස මියගොස් ඇති බවයි. සැකකරු කැලණිය කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන එමින් සිටින අතරතුර ඔහු එළෙස පළායාමට තැත්කර ඇත. තමන්ට වැසිකිලි යාමට අවශ්‍ය බව සැකකරු අවස්ථා කිහිපයකදීම පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව ඒ සඳහා දඬුගම් ඔය පාලම අසළ නවතා අවස්ථාව ලබාදීමෙන් පසු පොලීසියට පහරදී ඔහු දඬුගම්ඔයට පැන තිබේ. එහිදී ඔහු දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සැකකරුගේ දේහය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, දැනට බන්ධනාගාරගත ව සිටින ගනේමුල්ලේ සංජීව නැමැති අපරාධකරුගේ කොන්ත්‍රාත්තුවකට අනුව පත්අඩුවන අජිත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයා ඝාතනය කිරීමට මොහු පසුගිය 31 වන දා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. එහෙත් ඉලක්කය වැරදී යාම හේතුවෙන් මෝටර් රථයක ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අදාළ ඝාතනය සිදු කිරීමට ඔහු එම කොන්ත්‍රාත්තුව ලබාගෙන ඇති බවයි. සැකකරුගේ ඉලක්කය වැරදී යාමෙන් ජීවිතක්ෂයට පත්වූයේ ජාඇල වැලිකුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.