Update: අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා: ඉදිරි පැය කිහිපය තුළත් මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි

Update: අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා: ඉදිරි පැය කිහිපය තුළත් මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි

Update: අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා: ඉදිරි පැය කිහිපය තුළත් මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි

කර්තෘ Staff writer

06 Oct, 2018 | 11:08 am

COLOMBO (News 1st)

දිවයින්ට බටහිර දෙසින් අරාබි මුහුදේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය අද සහ හෙට දිනයේ තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරු 8.30 සිට මේ දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතය කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කළුතර, උස්වැලි ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතනය මිලිමීටර් 199කි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බව ය.

උතුරු මැද සහ දකුණු පළාත්වලට සහ මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇති විය හැකි වේ.

දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි ය.

අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

තද වර්ෂාව හා සුළං තත්ත්වය දිවයිනට බලපෑ ආකාරය..

අනුරාධපුර තලාව , කරගහවැව ප්‍රදේශයේ කාන්තාවක අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වර්තාකරු පැවසුවේ, ඊයේ පස්වරු 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව ය.

ගොවිතැන් කටයුතු නිමා වී කුඹුරේ සිට නිවස බලා පැමිණෙන අතරතුර ඇය මෙම අනතුරට මුහුණ දී තිබේ.‍ෙ

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මානාකැටේ ,ඉඹුල්වැහැර , මානේරුව යන ගම්මාන හරහා හමාගිය තද සුළඟිකින් නිවාස රැසකට හානි සිදුව තිබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ, ඊයේ සවස 6ත් රාත්‍රී 8ත් අතර අවස්ථා දෙකකදී මෙම සුළං තත්ත්වය හටගෙන ඇති බව ය.

ඊයේ රාත්‍රී උඩුනුවර රත්ගම, යේරම්බඩ, කිරිවවුල, ලගමුව ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 30කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් පුද්ගලයින් 120කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ය.

හමා ගිය සුළං තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙක් බඹරදෙණිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබති.

උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ආපදාවට පත් ජනතාව සඳහා සහන සැලසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ඇද හැළෙන අධික වර්ෂාවත් සමග ඇති විය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා පොල්ගොල්ල මහවැලි වේල්ලෙ වාන් දොරටු තුනක් විවෘත කර තිබේ.

මෙමගින් තප්පරයට ඝණ අඩි 5000ක ජල ධාරීතාවක් මුදා හරිනු ලබන අතර පොල්ගොල්ල වේල්ලේ පහල කොටසේ ජනතාව මහවැලි ගඟ භාවිත කිරීමේදී පරීක්ෂාකාරී වන ලෙස පොල්ගොල්ල මහවැලි කාර්යභාර ඉන්ජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග සුළං වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වනු ඇති.

කළුතර සිට ගාල්ල , හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට පස්වරුව දක්වා මුහුදු රළ මීටර් 2 ත් 2.5 ත් දක්වා ඉහළ යා හැකි ය.

මේ පිළිබඳව ධීවර ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

පවතින තත්ත්වය හේතුවෙන් මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලින් හෙට දහවල් 1.30 දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට අනතුරු අඟවා තිබේ.

—————————————————————————————————————————————–

Update: 1.35 pm – මන්නාරම සිට පුත්තලම කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිව තිබේ.

සුළං වේගය පැයට කිලෝමීටර් 70 – 80 දක්වා ක්ෂණිකව ඉහළ යනු ඇති.

—————————————————————————————————————————————–

Update: 1.00 pm – මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි.

උතුරු – මැද සහ දකුණු පළාත්වලත් මන්නාරම, වව්නියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇදහැලෙමින් පවති.

—————————————————————————————————————————————–

කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූවේ, අද සහ හෙට දිනයේ වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවනු ඇති.

වයඹ, මධ්‍යම, උතුරු – මැද, ඌව, සබරගමුව පළාත්වත්, මන්නාරම, වව්නියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි.

අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ මතුගම – වෝගන් වතු යායෙන් මිලිමීටර් 102 වර්ෂාපතනයක් වාර්තා විය.

සෝගම ප්‍රදේශයෙන් මිලිමීටර් 65 ක්, තම්බෝව ප්‍රදේශයෙන් මිලිමීටර් 54 ක්, රත්මලාන ප්‍රදේශයෙන් මිලිමීටර් 52 ක වර්ෂා පතනයක් හා පොළොන්නරුවෙන් මිලිමීටර් 47 ක වර්ෂා පතනයක් වාර්තා වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දැඳුරුඔයේ සහ පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු විවෘත කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පලි මහතා සඳහන් කළේ, තද සුළං හේතුවෙන් නවගත්තේගම ප්‍රදේශයේ නිවාස 10 කට පමණ හානි සිදුවීම් වාර්තා වන බවයි.