5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

by Staff writer 05-10-2018 | 10:11 AM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද උදෑසන නිකුත් වූ අතර පසුගිය වසරේ මෙන් ම මෙවරත් වැඩි ලකුණු ලබාගත් සිසුන් බොහෝමයක් කොළඹින් පිටපළාත්වලවීම විශේෂත්වයකි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන දිනා ගන්නට වේයන්ගොඩ සහ පිළියන්දල සිසු දරුවන් දෙදෙනෙකු සමත් විය. ලකුණු 199 බැගින් ලබාගත් පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ වේයන්ගොඩ සාන්ත මරියා විද්‍යාලයේ සනුප දිමත් පෙරේරා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථාන හිමිකර ගෙන තිබේ. ඒ අයැදුම්කරුවන් සංඛ්‍යාව 3 ලක්ෂ 55326 ක් අතුරිනි. ලකුණු 198 ක් ලබා ගනිමින් මෙවර දෙවන ස්ථානයට හිමිකම් කියු සිසුන් සංඛ්‍යාව 3 ක් වනු ඇත. මිනුවන්ගොඩ රෙජි රණතුංග විද්‍යාලයේ සෙනුජි අකිත්මා හෙට්ටිආරච්චි, යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ මාගෙන්ද්‍රන් තිගාලොලිබවන් සහ චාවකච්චේරි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ නවාස්කන් නාතී යන සිසුන් දෙවන ස්ථාන ලබා ගත්හ. ලකුණු 197 ක් ලබා ගත් වව්නියාව නෙළුක්කුලම් සිවපුරම් ප්‍රාථමික පාසලේ බාලකුමාර් හරිතිකන්සුජා මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ 3 වන ස්ථානය හිමිකර ගෙන ඇත. සිසුන් 22 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිව්වන ස්ථාන හිමිකර ගත්තේ ලකුණු 196 ක් ලබා ගනිමිනි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි. මේ අතර 2018 ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත්වීම සමග ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු නිකුත් කෙරුණි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පාසල් අයැදුම් කිරීමේ අවම ලකුණු සීමාව 168 කි. හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව ලකුණු 166 ක් ලෙස දැක්වේ. වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ අවම ලකුණු සීමාව 158 කි. මොණරාගල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව හා බදුල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය පාසල් සඳහා අවම ලකුණු සීමාව 165 ක් වනු ඇති. අම්පාර දිස්ත්‍රික්කයේ අවම ලකුණු සීමාව ලකුණු 164 කි. නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල අවම ලකුණු සීමාව, ලකුණු 163 ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 05 වන දා පැවත් විණි. ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසුන් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු පහත දැක්වේ.