දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කෙරේ

වැසි තත්ත්වය තවදුරටත්: දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කෙරේ

by Staff writer 05-10-2018 | 5:38 PM

COLOMBO (News 1st) -  දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කළේ, මධ්‍යම, වයඹ, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බවයි. අධික වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේ අතර වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා සඳහන් කළේ, ඉන් තත්පරයට ඝන අඩි 16,500 ක් දැදුරු ඔයට මුදා හරින බවයි. මේ හේතුවෙන් ජලාශය පහළ දැදුරු ඔය දෙපස නිකවැරටිය, වාරියපොල, රස්නායකපුර, කොබෙයිගනේ සහ බිංගිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ජනතාවට විමසිලිමත් වන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.