හල්දුමුල්ල, බත්ගොඩ ප්‍රදේශයේ නායයාමේ අවදානමක්

නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුමුල්ලේ පවුල් 43ක් ආරක්ෂිත ස්ථාන වෙත

by Staff writer 05-10-2018 | 7:10 AM
COLOMBO (News 1st) - නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුමුල්ල බෙරගල බත්ගොඩ ප්‍රදේශයේ පවුල් 43ක පුද්ගලයින් 150 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වැසි සමග මෙම අවදානම ඇති වූ බව ය. මේ අතර නුවරඑළිය ග්‍රේට් වෙස්ටන් ප්‍රදේශයේ පවුල් 13ක පුද්ගලයින් 58 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත මධ්‍යස්ථානයක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි. එහි සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් මගින් පරීක්ෂා කිරීම් සිදු වන බව ය. එම පරීක්ෂණ වාර්තා පදනම් කර ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර පසුගිය දින කිහිපයේ ඇති වූ අධික වැසි සහ තද සුළං හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 695කට හානි සිදුව තිබේ. ආපදා සහන සේවා අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා සඳහන් කළේ, හානි වූ නිවාසලාභීන් සඳහා වන්දි මුදලින් අත්තිකාරම් ලෙස රුපියල් 10000ක මුදලක් මේ වන විට ලබා දී ඇති බව ය. නිවාස හානි සඳහා වන්දි ලබා දීම පූර්ණ තක්සේරුවකින් පසු සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර අධික වැසි සහ සුළං සමග ප්‍රදේශ කිහිපයක තවදුරටත් විදුලි බිඳ වැටීම් වාර්තා වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බව ය. මේ අතර දිවයිනට ආසන්න පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය හෙට සිට යළි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බොහෝ පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව ය.