by Staff writer 05-10-2018 | 5:15 PM
COLOMBO (News 1st) - දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ ත්‍රස්ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරුන්ට ලබන 08 වන දා අධිකරණය හමුව පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් යන මහත්වරුන් ඝාතන සැළසුමක් පිළිබඳව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පසුගිය දා අනාවරණය කරනු ලැබුවේ ය.
එම අනාවරණය සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ එම විමර්ශන අධීක්ෂණය කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.
ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, ඉතා සංකීර්ණ විමර්ශනයක් වන මෙම ඝාතන සැළසුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බවත්, නාමල් කුමාර හෝ නාලක ද සිල්වා යන මහත්වරුන් දෙදෙනා විදේශගත වුවහොත් එම විමර්ශනවලට දැඩි බාධා සිදුවිය හැකි බවයි.
එබැවින්, ඔවුන් දෙදෙනා අධිකරණය හමුවට කැඳවා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ තිබියදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එල්.එම්.ජී ගිනි අවි දෙකක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසයි.
එම ගිනි අවි දෙක ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ලබාගෙන ඇති බවත් එය සැප්තැම්බර් මස 04 වන දා ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ උපදෙස් මත එහි සේවය කළ නිලධාරීන් දෙදෙනෙකුට නිකුත් කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.
යම්කිසි ගිනි අවියක් පිටතට ගෙන යාමේදී ඒවා කුමන කරුණක් සඳහා රැගෙන ගියේ ද, ඒවා භාවිත කළේ ද යන සටහන ගිනි අවි භාරදීමේ සහ භාර ගැනීමේ,ලේඛනවල සටහන් කර නොමැති බවත් එම ගිනි අවි දෙක සැප්තැම්බර් මස 06 වන දා යළි ත් භාරදී ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුනි.
එබැවින් එම ගිනි අවි භාවිත කර ඇත්තේ ද යන්න පිළිබඳව රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම සළකා බැලු මහේස්ත්‍රාත්වරිය ඒවා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමට නියෝග කළේ ය.