ග්‍රාමීය ජනතාව පීඩාවට පත් කළ අධිපොලී ණය උගුල

by Staff writer 05-10-2018 | 9:03 PM

COLOMBO (News 1st) - මෙරට බැංකු ක්ෂේත්‍රය මේ වසරේ ගෙවුණු මාස 6 තුළ පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ඉහළ ලාභ ප්‍රතිශතයක් ලබා ඇත.

නමුත් මෙරට ප්‍රධාන සමාගම් වසරේ ගෙවුණු මාස 06 තුළ පසුගිය වසරට සාපේක්ෂව ලාභ ප්‍රතිශතයන්හි අඩුවීමක් වාර්තා කිරීම විශේෂත්වයකි. ගෙවුණු මාස 6 තුළ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම් පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව ලාභ ලැබීමේ ප්‍රතිශතයන් කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ. නමුත් මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතන 14% - 20% ත් අතර ලාභ ප්‍රතිශතයන් ලබා තිබීම විශේෂත්වයකි. ප්‍රමාණවත් ඇපකර ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැතිකම හේතුවෙන් විධිමත් බැංකු හරහා තම මූල්‍ය පහසුකම් සපුරාගත නොහැකි දිළිඳු පුද්ගලයින් වෙත ණය පහසුකම් සැපයීම ඉතිරි කිරීමේ පහසුකම් සහ වෙනත් මූල්‍ය පහසුකම් සැළසීම ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලෙස හඳුන්වනු ඇත. මෑතක් වන තුරු මෙම ක්ෂේත්‍රය නියාමනයකට ලක් නොවීම හේතුවෙන්, නීති විරෝධී තැන්පතු භාරගැනීම්, අධික පොළී අනුපාත හරහා ගනුදෙනුකරුවන් සූරාකෑම සහ ආචාරශීලී නොවන නැවත අයකිරීමේ ක්‍රමවලට මගපාදා තිබුණි. බොහෝ ආයතන මෙම ජනතාවට ණය ලබාදීමේදී ඊට අය කරන පොළිය 40% - 50% ත් අතර ඉතා ඉහළ අගයක් ගෙන ඇත. මෙලෙස ණය ගෙන අසරණ වූ මෙරට කාන්තාවන්ගේ රුපියල් 100,000 ක් දක්වා වූ ණය කපා හැරීමට වැඩ සටහන් පසුගිය අගොස්තු මාසයේදී රජය දියත් කළේ ය. ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය අංශය නියාමනය 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින් මෙය ක්‍රියාත්මක වේ. මෙම පනත යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරවල නිරත වන බලපත්‍රලාභී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කිරීමට ඒවා නියාමනය කිරීම සහ අධීක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ක්‍රියාත්මක ය. එහෙත්, අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන, ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන ඇතුලු ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සපයන ආයතන නියාමනය වන්නේ 1980 අංක 31 දරණ ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන පනත යටතේ සමාජ සේවා සංවිධාන ‍රෙජිස්ට්‍රාර්වරයා යටතේ ය.