රුපියලේ අගය තවදුරටත් පහළ යයි

රුපියලේ අගය තවදුරටත් පහළ යයි

by Staff writer 04-10-2018 | 1:43 PM
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද තවදුරටත් අවප්‍රමාණය විය. ශ්‍රී ලංකා මහ බැංකුව අද ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල සටහන් වුණේ, රුපියල් 171.42ක් ලෙස ය. වසර ආරම්භ වන විට අමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 153ක් වූ අතර අද වන විට එය රුපියල් 17කින් පමණ ඉහළ ගොස් 171ක ඉක්මවා තිබේ. පසුගිය සති කිහිපය තුළ සිට ඉතා ශීඝ්‍රයෙන් රුපියල අවප්‍රමාණය වෙමින් පවතින අතර එය පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිය සංචිත මුදල් පවා වෙළෙඳපොළට මුදාහැරීමට සිදු විය. මහ බැංකුව පෙරේදා පැවසුවේ, ඩොලර් මිලියන 184ක සංචිත වෙළෙඳපොළට මුදා හැරීමට පියවර ගත් බව ය. අමෙරිකානු ඩොලරය හමුවේ රුපියල මේ අයුරින් පසුබෑමට ලක්වෙද්දී ආණ්ඩුවේ කෙටි කාලීන වියදම් පියවා ගැනීම සඳහා මහ බැංකුව ඊයේ නිකුත් කිරීමට සූදානම් වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අත්හිටුවා තිබේ. රාජ්‍ය සේවක වැටුප්, ඉන්ධන වැනි එදිනෙදා කෙටි කාලීන වියදම් පියවා ගැනීම සඳහා මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලබයි. මාස 3, මාස 6 සහ වසරකින් කල් පිරෙන අයුරින් මේවා නිකුත් කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර රුපියල් මිලියන 6000ක කෙටි කාලීන ණය පහසුකම් රජයට ලබා ගැනීමට සූදානම් විය. මහ බැංකුව සූදානම් වූයේ, ඉන් රුපියල් මිලියන 2000ක් මාස 3කින් කල් පිරෙන ලෙසත් තවත් මිලියන 4000ක් වසරකින් කල් පිරෙන පදනම යටතේත් නිකුත් කිරීමට ය. එහෙත් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් වූ පොළී අනුපාත මහ බැංකුව අපේක්ෂා කළ ප්‍රමාණය ඉක්මවා ගිය බැවින් මෙම මිලියන 6000 ලබා නොගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් රුපියල් මිලියන 6000ක් ලබා ගැනීම සඳහා මෙම වෙන්දේසියේදී රුපියල් මිලියන 13,922ක ලංසු ඉදිරිපත් වී තිබිණි. මහ බැංකුව අවසන් වරට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළේ, මාස තුනෙන් කල් පිරෙන ඒවාට 8.56%කුත් වසරකින් කල් පිරෙන ඒවාට 90.51%ක පොළියක් ලබා දෙමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථීකය විවිධ පැතිවලින් අභියෝගයට ලක් වෙමින් තිබියදී ආසියාවේ නැගී එන ආර්ථිකයක් වන වියට්නාමය එය මනා ලෙස කළමනාකරණය කරමින් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ලබා ගැනීමට සමත් වී තිබේ. ලෝක බැංකුවේ පුරෝකථනයන් අනුව මේ වසරේදී වියට්නාමය 6.7%ක අර්ථික වර්ධනයක් ළඟා කර ගනු ඇතැයි අපේක්ෂිත ය. ශ්‍රී ලංකාව මේ වසරේ දෙවන කාර්තුව වන විට ළඟා කර ගෙන සිටි ආර්ථික වර්ධන වේගය 3.7%කි. ඊළඟ පාර්ලිමේන්තුව කරුණු 12කින් යුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර ඒ තුළින් 8%ක ආර්ථික වර්ධන වේගයක් වසර 5ක් තුළ ළඟා කර ගැනීමට අපේක්ෂා කරයි. ඔවුන් මේ වසර තුළ පමණක් නිෂ්පාදන අංශය 12.65%කින් වර්ධනය කර ගෙන ඇති අතර සේවා අංශය ද 9.98%කින් වැඩි දියුණු කර ගෙන තිබේ. එම කාල සීමාව තුළ ඔවුන් සිදු කර ඇති අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 179කි. අමෙරිකානු හා චීනය අතර වෙළෙඳ යුද්ධය තවදුරටත් ව්‍යාප්ති වෙමින් තිබියදී වියට්නාමය ඔවුන්ගේ මුදල් ප්‍රතිපත්තිය, විනිමය අනුපාත, පොළී අනුපාත සහ උද්ධමනය නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් එම අභියෝගයට සාර්ථක ලෙස මුහුණ දෙමින් සිටියි. අමෙරිකාවේ බදු ප්‍රතිපත්තිය නිසා චීනයෙන් ඉවත් වෙන ආයෝජනවලින් තාක්ෂණයෙන් අඩු සහ කුඩා පරිමාණ ව්‍යාපෘති වියට්නාමයට ආකර්ශනය කර ගැනීම ඔවුන් මේ සඳහා යොදා ඇති තවත් උපක්‍රමයකි.