තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයේ ධූරයක් දැරීමට තිබෙන සුදුසුකම කුමක්දැයි රන්ජන් ICCයෙන් විමසයි

by Staff writer 04-10-2018 | 5:48 PM
COLOMBO (News 1st)  සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමු කර තිබේ. එම කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචඩ්සන් මහතා වෙත යොමු කර ඇති එම ලිපියෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා විමසා ඇත්තේ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ ධූරයක් දැරීම සඳහා තිබෙන සුදුසුකම කුමක් ද යන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන සුමතිපාල මහතා සාර්ථක ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳාම, පුවත්පත් ආයතනයක හිමිකාරිත්වය දැරීම, බුකි ව්‍යාපාර පවත්වාගෙන යාමට සම්බන්ධ වී සිටින අයෙකු බව ද එම ලිපියේ සඳහන් ය. ඔහු තමන්ගේ පවුලේ ව්‍යාපාර හරහා සෘජුව හා වක්‍රව සූදු ව්‍යාපාරයේ නිරත වන්නෙකු බව ද නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට යොමු කළ ලිපියේ සඳහන් වේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු ලෙස මෙන්ම යහපාලන ආණ්ඩුවේ ප්‍රවර්ධකයෙකු ලෙස තමන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටින්නේ, සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ධූරයක් දැරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තෘප්තිමත් ද යන්නයි. ඊට අමතරව 2016 ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තිලංග සුමතිපාල මහතාට අවසර දුන්නේ ද යන්න පිළිබඳව රන්ජන් රාමනායක මහතා එම ලිපියෙන් විමසා සිටියි.