ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 04-10-2018 | 6:07 AM

දේශිය පුවත්

1. රත්නපුර ප්‍රා. ලේකම් කොට්ඨාස 6කට නායයාම් අනතුරු ඇඟවීම්: රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 කට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අයගම, බලංගොඩ, ඉඹුල්පේ, කලවාන, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි. 2. කැලණි ගඟ දෙපස ජනතාවට සැළකිලිමත් වන්නැයි උපදෙස්: මධ්‍ය කඳුකරයට ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 5ක් ඊයේ පස්වරුවේ විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මේ පිළිබඳව කොත්මලේ ඔය දෙපස ජනතාව සහ කැලණි ගඟ දෙපස ජනතාව සැළකිලිමත් විය යුතු බවයි. 3. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා: 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන 5 වන දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 4. හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළි ත් වරෙන්තු: අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගත්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද යළි ත් විවෘත වරෙන්තුවක් නිකුත් කළා ය. ඒ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරණ සමයේ රජයට අයත් අමෙරිකානු ඩොලර් 132,000 ක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි. 5. කරාපිටිය රෝහලේ හෘද සැත්කම් කිරීම තවදුරටත් ඇණහිටී: කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය අංශයේ දැඩි සත්කාර ඒකකයේ වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා කිරීම මෙතෙක් අවසන් නොකිරීම හේතුවෙන් අසාධ්‍ය හෘද රෝගීන්ගේ ශල්‍යකර්ම සිදු කිරීම තවදුරටත් ඇණහිට තිබේ. එහි වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේ, අදාළ රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කිරීමට සිදු ව ඇති බව ය. 6. නෝර්වේ හා එංගලන්තයේ නිල සංචාරයක් සඳහා අගමැති දිවයිනෙන් පිටත්ව යයි: නෝර්වේ හා එංගලන්ත සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේ ය. අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග්, එරට ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනී හා විදේශ ඇමතිවරයා හමුවීමට නියමිත ය.

විදෙස් පුවත්

7. ඉරානයට එරෙහි සම්බාධක ඉවත් කරන්නැයි, ජාත්‍යන්තර අධිකරණයෙන් අමෙරිකාවට නියෝග: ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි, ජාත්‍යන්තර අධිකරණය අමෙරිකාවට නියෝග කර තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ අමෙරිකාව ඉරානයට පනවා තිබූ මානූෂීය භාණ්ඩ හා සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයට අදාළ සම්බාධක ඉවත් කරන ලෙස අධිකරණය මෙලෙස නියෝග කර ඇති බවයි. 8. ඉන්දුනීසියාවේ හටගත් සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 1350 දක්වා ඉහළට: ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ ඉන් අනතුරුව හටගත් සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 1350 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආපදාවෙන් විපතට පත් වූ පුද්ගලයින් ආහාර, පානීය ජලය සහ ඖෂධ සොයා වෙළෙඳ සල් මංකොල්ල කෑමට යොමුවීම හමුවේ ඉන්දුනීසියා පොලීසිය සිය ආරක්ෂක රැකවල් තර කර ඇති බව ය.