අසත්‍ය ප්‍රකාශ කළ බවට නිශාන්ත වර්ණසිංහ පිළිගනී

අධිකරණය හමුවේ අසත්‍ය ප්‍රකාශ කළ බව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පිළිගනී

by Staff writer 04-10-2018 | 9:08 PM
COLOMBO (News 1st) - හිටපු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති රාඩා ආයතනයේ ගනුදෙනු පිළිබඳ නඩුවට අදාළව පැමිණිල්ලේ සාක්ෂිකාර නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කර ඇතැයි විත්තියේ නීතිඥයෝ අද ප්‍රකාශ කළහ. අලස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඉල්ලා සිටියේ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඒ සම්බන්ධයෙන් දඬුවම් කරන ලෙස ය. පක්ෂයේ කටයුතුවලදී හා අනෙකුත් සංවිධාන සමග සිදු කළ කටයුතුවලදී කමල් දේශප්‍රිය යන නමින් ද තමා පෙනී සිටි බව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන බව ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ පිළිගත්තේ ය. කමල් දේශප්‍රිය යනුවෙන් පෙනී සිටියේ කවුරුන්දැයි පසුගිය අගෝස්තු 2 වන දා විත්තිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තමා එවැනි අයෙකු ගැන නොදන්නා බව ප්‍රකාශ කළත් එය නිවැරදි නොවන බව ද නිශාන්ත වර්ණසිංහ මහතා ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ය. දෙවැනි විත්තිකාර ඇන්තනී එමිල්කාන්තන් නමැත්තා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා, සාක්ෂිකාර නිෂාන්ත ශ්‍රී වර්ණංසිංහ මහතා වෙත ඡායාරූපයක් පෙන්වා හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කළේ ය. ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට පෙන්වා දුන් ඡායාරූපයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ විද්‍යා අමරපාල මහතා සහ දෙවැනි සැකකාර ඇන්තනී එමිල්කාන්තන් සිටින බව එහිදී සාක්ෂිකරු පිළිගත්තේ ය. විද්‍යා අමරපාල මහතා ඩුබායි රාජ්‍යයට ගොස් එමිල්කාන්තන් නමැත්තා මුණගැසී පළමු විත්තිකාර ටිරාන් අලස් මහතාට එරෙහිව අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවත් එම යෝජනාවට එකඟ නොවීම නිසා එමිල්කාන්තන් නමැත්තා ද සැකකරුවෙකු කරමින් පොලිස්පතිවරයාට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් පැමිණිලි කළ බවත් ජනාධිපති නීතිඥවරයා සාක්ෂිකරුට යොජනා කළේ ය. නමුත් සාක්ෂිකරු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා ලබන 10 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ට සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියෝග කළේ ය.