ජනතාව මුහුණ දී සිටින අරුවක්කාඩු කසළ අංගනයේ අර්බුදය

අරුවක්කාඩු කසළ අංගනය ඉදිවන්නේ කලින් පොරොන්දු වූ ස්ථානයේ නොවන බවට ජනතාවගෙන් චෝදනා

by Staff writer 04-10-2018 | 8:21 PM
COLOMBO (News 1st) - කොළඹ කසළ පුත්තලමට බැහැර කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බලධාරීන් සැබෑ තොරතුරු වසන් කරමින් සිටින බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා කරමින් සිටියි. මේ බව අනාවරණය වුණේ, නිව්ස්ෆස්ට් කණ්ඩායමක් අද එම ව්‍යාපෘතිය පිළිබඳව සිදු කළ සංචාරයේදී ය. දෛනිකව කොළඹ නගරයේ එක්රැස් වන කැළි කසළ දුම්රිය මාර්ගය ඔස්සේ අරුවක්කාඩු ප්‍රදේශයට බැහැර කිරීම සඳහා ව්‍යාපෘතියක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබූ අතර එහි ඉදිකිරීම් මේ දිනවල සිදු වේ. නමුත් අද අප ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදී පෙනී ගියේ, ප්‍රකාශ කරන ආකාරයට අරුවක්කාඩු ප්‍රදේශයේ නොව සේරක්කුලිය ප්‍රදේශය ආශ්‍රිතව මෙම කසළ බැහැර කිරීමට සූදානම් වන බව ය. සේරක්කුලිය හා කාර්තිව් ගම්මාන පුත්තලම කලපුව ආසන්නයේම පිහිටා තිබෙන අතර කලපුව ආශ්‍රිත ධීවර කර්මාන්තය මෙම ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයයි. මීට පෙර එලෙස කසළ බැහැර කිරීමට යෝජනා වී තිබුණේ, අරුවක්කාඩුහි කලා ඔය ආසන්නයේ ගගේ වාඩිය ගම්මානය ආශ්‍රිතව ය. එමගින් කලපුවට හා සිය ගම්මානයට බලපෑමක් නොවන නිසා තමන් ඊට විරුද්ධ නොවූ බව ප්‍රදේශවාසීහු පවසති. නමුත් එම කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය අරුවක්කාඩු සිට කිලෝමීටර් 5ක පමණ දුරින් පිහිටි සේරක්කුලිය ගම්මානයේ ඉදිකිරීමත් සමග මේ වන විට ඊට විරෝධය පළ වෙමින් තිබේ. කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානයෙන් පිටවන අප ජලය පුත්තලම කලපුවට එක්වීමේ අවදානමක් ඇතැයි ජනතාව තුළ ඇති ප්‍රධාන සැකයකි. මෙම අපද්‍රව්‍ය නිසා පුත්තලමේ සිදු කෙරෙන ලුණු නිෂ්පාදන කර්මාන්තය අඩාල විය හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.