විදුලි පේනු හා කෙවෙනි සදහා වන ජාතික ප්‍රතිපත්තිය

විදුලි පේනු හා කෙවෙනි සදහා වන ජාතික ප්‍රතිපත්තියක් ඇති බව ඔබ දැන සිටියා ද ?

by Staff writer 03-10-2018 | 9:26 AM
විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි පේනු හා කෙවෙනි සදහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නගා ඇත. ජාතික ප්‍රමිතිය ලෙස කොටු හැඩයේ කූරු සහ සිදුරු සහිත (ජී වර්ගය ලෙස හදුන්වන) ඇම්පියර් 13 නේ විදුලි පේනු සහ කෙවෙනි ජාතික ප්‍රමිතිය වශයෙන් හදුන්වා දී ඇත. මේ වන විට විවිධාකාරයේ විදුලි පේනු වර්ග 60කට අධික සංඛ්‍යාවක් ද කෙවෙනි වර්ග 3ක් ද භාවිතා වේ. නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීමෙන් පසුව ඒවා වෙනුවට තනි වර්ගයක් ලෙස ජී වර්ගයේ කෙවෙනි හා පේනු භාවිත කිරීමට නියමිතය. නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වන දා සිට බලාත්මක විය දැනට භාවිතාවේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති සහ ඒවායේ විදුලි කෙවෙනි වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර නව රැහැන් පද්ධති සකස්කිරීමේදී ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතා කළ යුතු වේ. එම කෙවෙනි සදහා වර්ග මිලි මීටර් 2.5 රැහැන්(වයර්) හෙවත් 7/0.67 රැහැන් වර්ගය පමණක් නිර්දේශ කර ඇත. මෙම ප්‍රමිතිය සකස් කිරීමට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒ සදහා පුළුල් මහජන අදහස් විමසීමක් පවත්වන ලදී. විදුලි පාරිභෝගිකයින්, විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදකයින්, ආනයනකරුවන් බලශක්ති ක්ෂේත්‍රෙය් විශේෂඥයින් ඇතුළු සියළුම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන ජාතික එකගතාවක් ඇතිව මෙම ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට පියවර ගැනීම විශේෂත්වයකි. විදුලි පේනු සහ කෙවෙනි සදහා හදුන්වාදුන් ප්‍රමිතිය ක්‍රියාවට නැගුනේ පහත කාල සටහනට අනුව ය..
  • 2016 අගෝස්තු 16 වන දින සිට විදුලි පේනු සහ කෙවෙනි සදහා ජාතික ප්‍රමිතිය බලාත්මක විය
  • 2016 අගෝස්තු 16 දින ජි කාණ්ඩයට අයත් නොවන විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය සදහා සහන කාලයක් ක්‍රියාත්මක විය
  • 2017 අගෝස්තු 16 දින සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරිනි.
  • 2019/01/01 වන දින සිට ජී වර්ගයේ (13 A)නොවන විදුලි පේනු (ප්ලග් ටොප්) සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කෙරේ. ජී වර්ගයේ පේනු වල විලායකයක් (ෆියුස්) ද පවතී. එය ආරක්ෂාව තවදුරටත් තහවුරු කරයි
1. නව ප්‍රමිතිය නිසා, දැනට නිවසේ සවිකර ඇති කෙවෙනි වෙනස් කළ යුතුද? අවශ්‍ය නැත. දැනට නිවසේ ඇති ඇම්පියර් 5 (රවුම් කූරු) කෙවෙනි ඒවායේ ආයු කාලය නිමාවන තුරු ඒ අයුරින්ම භාවිතයට කිසිදු තහනමක් නැත. 2. නිවසේ ඇති රැහැන් පද්ධතිය නව ප්‍රමිතියට අනුකුලව වෙනස් කළ යුතුද? නැත. නමුත්, තම විදුලි පද්ධතිය සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු ලවා පරික්ෂා කරවා ගැනීම වැදගත් වේ. මෙමගින්, සෑම පද්ධතියක්ම නිසි පරිපථ කඩනයක් (MCB) හෝ විලයකයකින් (Fuse) ආරක්ෂා වී ඇති බව තහවුරු කරගත හැකිය. 3. නිවසේ දැනට භාවිතා කරන විදුලි උපකරණ වල ඇති පේනු වෙනස් කළයුතුද? නැත; ඔබට ඒවා භාවිතා කළහැකිය. 2019 ජනවාරි 1 වනදා සිට වෙළඳපොළෙහි විකිණීමට ඇත්තේ හතරැස් කූරු සහිත පේනු සහ කෙවෙනි පමණි. දැනට භාවිතා කරන ඇම්පියර් 5 (රවුම් කූරු) පේනු සහිත විදුලි උපකරණයක් ඇම්පියර් 13 කෙවෙනියට සම්බන්ධ කරගැනීමට පරිවර්තකයක් (adaptor) අවශ්‍ය වේ. මේ සඳහා නියමිත ප්‍රමිතියට අනුකුල පරිවර්තක (adaptor) වෙළඳපොලෙන් මිළදී ගත හැකිය. 4. නව විදුලි උපකරණයක් මිලදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු කරුණු මොනවාද? කූරු දෙකක් සහිත පේනු හෝ රවුම් කූරු සහිත පේනු ඇති විදුලි උපකරණ මිලදී ගැනීමෙන් වළකින්න. ඒවාට ගැළපෙන කෙවෙනි තව වසර කිහිපයකට පසු භාවිතයේ නොමැති වනු ඇත. එපමණක් නොව, 2019 ජනවාරි 1 වනදායින් පසුව එවැනි විදුලි උපකරණ විකිණීම නීතියෙන් තහනම් වේ. 5. වායු සමීකරණයක් ඇම්පියර් 13 කෙවෙනියකට සම්බන්ධ කළහැකිද? 18,000 btu/ h දක්වා ධාරිතාවයකින් යුත් වායු සමීකරණ සඳහා ඇම්පියර් 13 පේනු සහ කෙවෙනි භාවිතා කළහැකිය. ඊට වැඩි ධාරිතාවයක් සහිත වායු සමීකරණ සඳහා විබෙදුම් පෙට්ටියේ (distribution board) සිට වෙනම පරිපථයක් යොදාගත යුතුය. මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සලකුණ (SLS) සහිත විලායකයක් (fused) ඇති සම්බන්ධක ඒකකයක් (connection unit) හෝ ද්විධ්‍රැව ස්විචයක් (double pole switch) භාවිතා කළ හැකිය. 6. ඇම්පියර් 13 කෙවෙනියක් ඇම්පියර් 5 කෙවෙනි සඳහා සෑදු රැහැන් පරිපථයකට (circuit) සවි කිරීම ආරක්ෂිතද? ඔබ හරි. එය ආරක්‍ෂිත නොවේ. මේ සඳහා ඉතා ඉක්මණින් විශේෂ කෙවෙනියක් (ඇම්පියර් 13 කෙවෙනියට පිටතින් සමාන) වෙළඳපොළට නිකුත් වීමට නියමිතය. මෙම කෙවෙනිය සාමාන්‍ය ඇම්පියර් 13 කෙවෙනි වලින් වෙන් කර හඳුනා ගැනීමට “6A Max” ලෙස සළකුණු කර ඇත. කෙදිනක හෝ ඔබේ නිවසේ නැවත විදුලි රැහැන් ඇදීමක් (rewiring) සිදුවනතුරු මෙම කෙවෙනිය ඇම්පියර් 13 කෙවෙනියට සමාන වුවත් එයට බෙදාහැරිය හැක්කේ ඇම්පියර් 6ක් පමණි. 7. ට්‍රැවල් ඇඩප්ටර්, යුනිවර්සල් සොකට් සහ ෂේවර් සොකට් භාවිතා කළහැකිද? සංචාරකයින් ට්‍රැවල් ඇඩප්ටර් භාවිතා කරයි. තවද, සංචාරක හෝටල් සඳහා යුනිවර්සල් සොකට් සහ ෂේවර් සොකට් අවශ්‍ය වේ. සංචාරක හෝටල් වැනි විශේෂිත අවස්ථා වල භාවිතය සඳහා පමණක්, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත විශේෂ ආනයන බලපත්‍රයක් මගින් මේවා ආනයනයට අවස්ථාව සළසා ඇත. කෙසේ වුවද, 2019 ජනවාරි 1 වනදා සිට මේවා වෙළඳපොළෙහි විකිණීම තහනම් වේ. 8. 2019 ජනවාරි 1 වනදායින් පසු ඇම්පියර් 13 හතරැස් කූරු පේනුව හැර වෙනත් වර්ගවල පේනු සහිත ඉතිරි වී ඇති විදුලි උපකරණ තොග විකිණිය හැකිද? නොහැක. 2019 ජනවාරි 1 වනදායින් පසු ඉතිරි වී ඇති විදුලි උපකරණ පාරිභෝගිකයන්ට විකිණීමට පෙර ඒවායේ ඇති පේනු ඉවත් කර ඇම්පියර් 13 හතරැස් කූරු සහිත පේනු සම්බන්ධ කළයුතුය. කූරු 2ක් හෝ රවුම් කූරු සහිත පේනු ඇති විදුලි උපකරණ විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරිය මඟින් තහනම් කර ඇත.