කැලණි ගඟ දෙපස ජනතාවට සැළකිලිමත් වන්නැයි උපදෙස්

කැලණි ගඟ දෙපස ජනතාවට සැළකිලිමත් වන්නැයි උපදෙස්

by Staff writer 03-10-2018 | 5:15 PM
COLOMBO (News 1st) : මධ්‍ය කඳුකරයට ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 5ක් අද පස්වරුවේ විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ මේ පිළිබඳව කොත්මලා ඔය දෙපස ජනතාව සහ කැලණි ගඟ දෙපස ජනතාව සැළකිලිමත් විය යුතු බවයි. මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 6 කට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අයගම, බලංගොඩ, ඉඹුල්පේ, කලවාන, ඇලපාත සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි. පවතින වැසි තත්ත්වයත් සමග නායයාම් සහ කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වඩාත් සැළකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර වයඹ, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.